February 3, 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෑතකදී අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරායට ගෙන එන ලද රුපියල් බිලියන 03කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර විශ්ලේෂණ වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (02) නියෝග කළේය.

ධීවරයන් එකොළොස් දෙනෙකු සන්තකයේ තිබී සොයා ගත් කිලෝග්‍රෑම් 263ක මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් දැඩි ආරක්ෂාවක් යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ආරක්ෂිත බෑග් 15ක අසුරා අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලීමෙන් පසු, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේ මත්ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා විශ්ලේෂණ වාර්තාවක් ලබා ගන්නා ලෙසය.

සැකකාර ධීවරයින් එකොළොස් දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 109යි ග්‍රෑම් 422ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 112යි ග්‍රෑම් 258ක් සමග පසුගිය ජනවාරි 25 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී.

අධිකරණ නියෝගයෙන් පසුව, මත්ද්‍රව්‍ය මුද්‍රා තබා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාගේ අධීක්ෂණය යටතේ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබේ.