March 27, 2026

නීති විරෝධී ලෙස පෙට්‍රල් ලීටර් 4ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට ඊයේ (26) වරද පිළිගත් 48 හැවිරිදි පුද්ගලයකුට නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් දින 21ක සිර දඬුවමක් සහ රුපියල් 1,500ක දඩයක් නියම කර තිබේ.

කොබෙයිගනේ පොලිසිය විසින් 1979 අංක 34 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (සැපයුම් නියාමනය සහ පාලනය) පනත යටතේ විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, නඩු විභාගය අතරතුර සැකකරු චෝදනාවට වරද පිළිගත්තේය.

සෙනසුරාදා (29) පැවැත්වීමට නියමිත දානමය පිංකමකට පෙර සැකකරුගේ නිවසේ වත්ත පිරිසිදු කිරීම සඳහා තණකොළ කපන යන්ත්‍රයක භාවිතයට පෙට්‍රල් තබා ගෙන ඇති බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පැවසීය.

එම ඉන්ධන විකිණීමට හෝ නීති විරෝධී ලෙස බෙදා හැරීමට අදහස් නොකළ බව විත්තිකරු අවධාරණය කළ අතර, ආගමික උත්සවය පැවැත්වීමට නියමිත බව තහවුරු කිරීම සඳහා ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ගෙන් ලිපියක් ද ඉදිරිපත් කළේය.

නීතිය යටතේ පාරිභෝගිකයන්ට පෙට්‍රල් ළඟ තබා ගැනීමට අවසර දී ඇතත්, පනතේ අවසර ලත් ප්‍රමාණයක් පැහැදිලිව සඳහන් කර නොමැති බවත්, එම චෝදනාව සම්බන්ධයෙන් නීතිමය ගැටළු මතු කරන බවත් නීතිඥවරයා තර්ක කළේය.

කෙසේවෙතත්, කරුණු සහ විත්තිකරුගේ වරද පිළිගැනීම සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා, දඬුවම නියම කිරීමට කටයුතු කළේය.