June 16, 2026

ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘතියකදී සිදුව ඇතැයි කියන ඩොලර් මිලියන 110ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට කැඳවූ පුතා වෙනුවට පැමිණි හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාව හරවා යැවීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) ඊයේ (15) පියවර ගෙන තිබේ.

2012 සහ 2017 අතර කාලසීමාවේ සිදුව ඇති මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් කෙරෙන දීර්ඝ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මත, හිටපු අමාත්‍යවරයාගේ පුත්‍රයාව ඊයේ දිනයේදී FCIDය හමුවට කැඳවා තිබිණි.

එහෙත් පුතා වෙනුවට තමාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස පවසමින් හිටපු අමාත්‍යවරයා එහි පැමිණ ඇති අතර, නීතිමය ප්‍රතිපාදන අනුව එය ප්‍රතික්ෂේප කළ විමර්ශන නිලධාරීන් ඔහුව හරවා යවා ඇත.

ඉදිරි දිනයකදී නැවත ඔහුගේ පුත්‍රයාව විමර්ශන සඳහා කැඳවීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන සමයේ (2015-2018) වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජිත් විජයමුණි සොයිසාගෙන්ද පසුගිය පෙබරවාරි 17 වැනිදා FCIDය ප්‍රශ්න කර තිබිණි.

මීට අමතරව, එවකට ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යවරයාව සිටි පී. හැරිසන්ගෙන්ද, අදාළ අමාත්‍යාංශයේ හිටපු ලේකම් රේණුකා ඒකනායකගෙන්ද මීට පෙර ප්‍රශ්න කර ඇත.

මෙම ප්‍රශ්න කිරීම් සිදුවන අවස්ථාවේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකාවක ලෙස කටයුතු කළ රේණුකා ඒකනායක පසුව එම තනතුරින් ඉල්ලා අස්වූවාය.