April 4, 2023

ආන්දෝලනාත්මක ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන සඳහන් කරන ලද්දේ පසුගිය සති අන්තයේ මහනුවරදීය. අගමැතිවරයා එහිදී ජනමාධ්‍යයවේදීන් අමතමින් පැවසුවේ අදාළ පනත් කෙටුම්පත පිළිබඳ සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය. කෙසේවෙතත් ආණ්ඩුව විසින් සම්මත කරවා ගැනීමට සුදානම් වන මෙම ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට මේ වන විට එල්ල වෙමින් පවතින්නේ දැවැන්ත විරෝධයකි. දේශීයව විවිධ පාර්ශව වෙතින් එල්ලවන් විරෝධතාවන්ට අමතරව අන්තර්ජාතික පාර්ශව රැසකින්ද මේ නව නීතිය සම්බන්ධයෙන් විවේචන එල්ලවී තිබේ.

අන්තර්ජාතික පාර්ශ්ව අතුරින් මෙම යෝජිත පනත් කෙටුම්පත මෙන්ම, දැනට රටේ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සම්බන්ධයෙන්ද පසුගිය සතියේ බරපතල විවේචනයක් එල්ල කරන ලද ප්‍රධාන පාර්ශවයක් වූයේ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් අන්තර්ජාතික ක්ෂමා සංවිධානයයි. ශ්‍රී ලංකාවේ බලයේ සිටි සහ සිටින ආණ්ඩු මානව හිමිකම් කඩකිරීම් සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කර ඇති බව ක්ෂමා සංවිධානය පෙන්වාදී ඇත. එම සංවිධානය සඳහන් කරන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ පොදු දේපළ පනත යොදාගනිමින් ක්‍රියාත්මක කළ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන බව ය. එම සංවිධානයේ වාර්ෂික වාර්තාවෙන් මේ බව අනාවරණය කර තිබේ.

ක්ෂමා සංවිධානයේ 2022/23 වාර්තාවෙන් දකුණු ආසියාතික රටවල් හතක් ගැන අවධානය යොමු කර ඇත. ඒ, ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ඝනිස්ථානය, බංගලාදේශය, මාලදිවයින, නේපාලය හා ශ්‍රී ලංකාව පිළිබඳවයි. ක්ෂමා සංවිධානයේ වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ නිරීක්ෂණයේ දී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බොහෝ මානව හිමිකම් කඩවීම් සඳහා බලයේ සිටි ආණ්ඩු භාවිත කර ඇති බව පෙන්වා දෙයි. සාමකාමීව රැස්වීමේ ජනතා අයිතියට බාධා වන අන්දමින් 2022 වසරේ අප්‍රේල්, මැයි, ජුලි මාසවල දී වරින් වර සිදු කළ හදිසි නීතිය පැනවීම් මෙන් ම ගාලුමුවදොර අරගල භූමියට එවක රජයේ ආධාරකරුවන් මැයි 09 දා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ද වාර්තාවේ අවධානය යොමුකර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ පොදු දේපළ පනත යොදා ගනිමින් කළ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් මෙන් ම, “අගෝස්තු මාසයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශිෂ්‍ය විරෝධතා නායකයන් තිදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීමට අනුමැතිය ලබා දුන්නේයැ”යි ද වාර්තාවේ සඳහන් කර ඇත. උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීම මෙන් ම, ඉන් ඔබ්බට ගොස් ජීව උණ්ඩවලින් වෙඩි තැබීම නිසා රඹුක්කන ප්‍රදේශයේ පුද්ගලයකු මියයෑම හා 2022 ජුලි 21 දින අරගලකරුවන්ට, මාධ්‍යවේදීන්ට, නීතිඥයන්ට පහරදීම ද වාර්තාව ඉස්මතු කර තිබේ.

ක්ෂමා සංවිධානයේ මෙම වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියක් වන අම්බිකා සත්කුණනාතන් සහ වෘත්තිය සමිති හා මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන ස්වස්තිකා ආරුලිංගම්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා සභාවක් ද පැවැත්විණි. එහි දී, ශ්‍රී ලංකාව දශක ගණනාවක් මුහුණ දි සිටින ජාතික ප්‍රශ්නය සහ ගෝල්ෆේස් අරගලය සමග එහි තත්ත්වයන් වෙනස් වූ ආකාරය පිළිබඳ සාකච්ඡා විය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) වෙනුවට සම්මත කිරීමට ගෙන එන නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත (ATA) සම්බන්ධයෙන් ද එහි දී අවධානය යොමු විය. එම පනත් කෙටුම්පතේ ද අපැහැදිලි නිර්වචන, රැඳවුම් නියෝග ලබා ගැනීමට ඇති හැකියාව, ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳ ගැටලු වැනි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ද තිබූ හිඩැස් ම තිබෙන බව අම්බිකා සහ ස්වස්තිකා යන දෙදෙනා ම මෙහිදී අවධාරණය කළහ.

ශ්‍රී ලංකාවට අමතරව පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල් ගණනාවක සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳවද ක්ෂමා සංවිධානයේ නවතම වාර්තාවෙන් අවධානය යොමුකර ඇත. එම වාර්තාව පෙන්වාදෙන්නේ, තලේබාන් පාලනය යටතේ මානව හිමිකම් යනු ඇෆ්ගනිස්ථානයේ හුදු වචනයක් පමණක් බවට පත්වන තරමට ම කාන්තාවන් ඉලක්කකර ගත් සහ භාෂණයේ නිදහස උල්ලංඝණය වන මානව හිමිකම් කඩවීම් විශාල සංඛ්‍යාවක් සිදුව තිබෙන බවයි. එරට ජනගහණයෙන් මිලියන 20ක ජනතාව ආහාර අනාරක්ෂිතතාවෙන් පෙළෙන බවද වාර්තාවේ දැක්වේ. ඇෆ්ඝනිස්ථානයේ ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට වැට බැඳීම මෙම වාර්තාවෙන් ඉස්මතු කර පෙන්වයි. ක්ෂමා සංවිධානය පවසන්නේ කාන්තාවන්ගේ අධ්‍යාපනය තහනම් කර ඇති ලෝකයේ එක ම රට ඇෆ්ඝනිස්ථානය බව යි. ඇෆ්ඝනිස්ථානයේ තිබූ ජාතික මානව හිමිකම් ආයතනය තාලිබාන් පාලනය ආරම්භයත් සමග අක්‍රිය වී තිබේ.

පාකිස්ථානය සම්බන්ධයෙන් ගත්කල, පාකිස්ථානය ද විශාල වශයෙන් කාලගුණ විපර්යාසවලට මුහුණ දී ඇති රාජ්‍යයකි. පසුගිය වසරේ දී දැඩි උෂ්ණත්වයෙන් සහ ගංවතුර හේතුවෙන් 1100කට වැඩි පිරිසක් මියගොස් තිබේ. වාර්තාව ඉදිරිපත් කිරීමේ දී පැවැත් වූ සාකච්ඡාවේ දී අනාවරණය වූයේ 2022 ජනවාරි සහ මාර්තු යන මාස අතරතුර දී පසුගිය වසර 60කට පසු පාකිස්ථානයෙන් වාර්තා වූ ඉහළ ම උෂ්ණත්වය වාර්තා වී ඇති බවයි. එසේම මෙතෙක් විසඳී නොමැති බලහත්කාරී අතුරුදන්වීම් 2210ක් 2022 දෙසැම්බර් 31 වන දින තෙක් පාකිස්ථානයෙන් වාර්තා වී තිබේ. 2021 ඔක්තෝබර් සිට 2022 සැප්තැම්බර් දක්වා ඝාතනය වී ඇති සංක්‍රාන්තික ලිංගිකයන් සංඛ්‍යාව 18කි.

ආසියානු කලාපයේ මානව හිමිකම් උල්ලංඝනයන් සඳහා මෙම රටවල් හොඳම උදාහරණ බවද ක්ෂමා සංවිධාන වාර්තාව වැඩිදුරටත් පෙන්වාදෙයි.