August 23, 2026

දෙවරක් ලෝක බොක්සිං ශූරතාව දිනාගත්, දකුණු අප්‍රිකාවේ සුප්‍රකට බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ සිය නිවස ඉදිරිපිටදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

මියයන විට ඔහු 38 වැනි වියෙහි පසුවිය.

දකුණු අප්‍රිකාවේ ඊස්ටර්න් කේප් හි ම්ඩාන්ට්සේන් ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ ගේට්ටුව අසල මෝටර් රථයේ රැඳී සිටියදී, මුහුණ ආවරණය කරගත් නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.

ටෙටේ නිවසේ ගේට්ටුව ඇරෙන තෙක් රථයේ සිටියදී පැමිණි ප්‍රහාරකයන් රථයට දිගටම වෙඩි තබා ඇත.

මෙම අනතුරෙන් ඔහු සමග රථයේ සිටි 27 හැවිරිදි කාන්තාවකට ද වෙඩි වැදී ඇති අතර, ඇය බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇත.

දකුණු අප්‍රිකානු ක්‍රීඩා හා සංස්කෘතික අමාත්‍ය ගේටන් මැකෙන්සි මෙම ඝාතනය තහවුරු කරමින් පැවසූයේ, දකුණු අප්‍රිකාවෙන් බිහිවූ විශිෂ්ටතම බොක්සිං ක්‍රීඩකයෙකු රටට අහිමි වූ බවයි.

2017 වසරේදී පැවැති WBO බන්ටම්වේට් ලෝක ශූරතා තරගයකදී ප්‍රතිවාදී ක්‍රීඩක සිබොනිසෝ ගොන්යා තත්පර 11ක් වැනි කෙටි කාලයකින් නොකවුට් කරමින් ලෝක ශූරතා තරගයක වේගවත්ම නොකවුට් ජයග්‍රහණය වෙනුවෙන් ගිනස් වාර්තාවක් තැබීමට ටෙටේ සමත් විය.

තහනම් උත්තේජක චෝදනාවක් නිසා ලැබී තිබූ වසර 4ක තරග තහනම අවසන් වීමෙන් පසු, ඔහු නැවතත් බොක්සිං වළල්ලට පිවිසීමට දැඩි පුහුණුවක නිරත වෙමින් සිටි බව ඔහුගේ කළමනාකාරවරයා තහවුරු කර ඇත.

ටෙටේ තම වෘත්තීය බොක්සිං දිවියේ තරග 34කින් තරග 29ක් ජයග්‍රහණය කර ඇති අතර, එයින් තරග 22ක්ම නොකවුට් ජයග්‍රහණයන් වේ.

ප්‍රහාරකයින් පළාගොස් ඇති අතර පොලිසිය පරීක්ෂණ පවත්වයි.