July 24, 2026

ශ්‍රී ලංකාව නියෝජනය කිරීම තවදුරටත් සිදුකිරීම සඳහා රජයෙන් ඇමෙරිකානු ඩොලර් 300,000ක මුදලක් කොන්දේසියක් ලෙස ඉල්ලා සිටි බවට නැගෙන චෝදනා ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු පවසන්නේ එම ඉල්ලීම පෙර පැවති ආණ්ඩු මගින් පොරොන්දු වූ, මෙතෙක් ගෙවා නොමැති හිඟ මුදල් සහ දිගුකාලීන කැපවීම්වලට අදාළ එකක් බවයි.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් පසුගියදාකරන ලද ප්‍රකාශයකට පිළිතුරු දෙමින් යුපුන් පවසන්නේ, මෙම මුදල 2021 වසර දක්වා දිවෙන හිඟ මුදල් ද ඇතුළුව වසර ගණනාවක් පුරා තමන්ට සහ තමන්ගේ සහායක කණ්ඩායමට ගෙවීමට තිබූ මුදල්වලට අදාළ වන්නක් බවයි.

“මම ඉදිරියටත් තරග කිරීම සඳහා කොන්දේසියක් ලෙස ඩොලර් 300,000ක් ඉල්ලුවේ නැහැ. එම ඉල්ලීම පදනම් වුණේ කළින් සිටි අමාත්‍යවරුන් විසින් ලබාදුන් පොරොන්දු සහ වසර ගණනාවක් තිස්සේ පැවැති සාකච්ඡා මතයි. මේ සෑම දෙයක්ම ලේඛනගත කරලා තියෙනවා” යනුවෙන් ඔහු පැවසීය.

වසර හතරකට වැඩි කාලයක් තිස්සේ විසඳී නොමැති මෙම ගැටලුව විසඳීමට උපකාර කරන ලෙස තමන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව යුපුන් සඳහන් කරයි.

“මෙම මුදල වසර හතරකට වැඩි කාලයක් තිස්සේ මට ලැබීමට තිබූ හිඟ මුදල්වලට අදාළ එකක්. මම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම ගැටලුව විසඳීමට උපකාර කළ හැකිද යන්න විතරයි” ඔහු පවසයි.

මෑතකදී මලල ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළ මෙම ක්‍රීඩකයා, අමාත්‍යවරයාගේ ප්‍රසිද්ධ ප්‍රකාශය මගින් තමන්ගේ ඉල්ලීම වැරදි ලෙස නිරූපණය කර ඇති බව පවසමින් ඒ පිළිබඳව කණගාටුව පළකරයි.

” ‘යුපුන් අපෙන් ඩොලර් 300,000ක් ඉල්ලුවා, අපිට ඒක දෙන්න බැහැ’ වැනි වැරදි මතයක් අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් නිර්මාණය වූ බව මම විශ්වාස කරනවා. ඇත්තටම සිදුවුණේ ඒක නෙවෙයි,” ඔහු පැවසීය.

“ඒ ප්‍රකාශය මාව දේශපාලනයට ඇදදමන අතර, මම ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළේ මුදල් සඳහා පමණයි යන හැඟීම ඇති කරනවා. මම ඒ ගැන දැඩි ලෙස කණගාටු වෙනවා.”

වෙනත් රටක් වෙනුවෙන් තරග කිරීමට අවස්ථාව තිබියදීත්, තමන් කිසිවිටෙකත් දේශපාලනයට සම්බන්ධ නොවූ බවත්, සෑම විටම ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ප්‍රමුඛතාව දුන් බවත් යුපුන් අබේකෝන් අවධාරණය කරයි.

“මම කිසිවිටෙකත් දේශපාලනයට සම්බන්ධ වෙලා නැහැ. ඉතාලි පුරවැසිභාවය ලබාගැනීමට අවස්ථාව තිබියදීත් මම තෝරාගත්තේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්නයි. මම ශ්‍රී ලංකා කොඩිය ඔසවා තැබුවේ ආඩම්බරයෙන්” ඔහු පැවසීය.

“ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකුව ඒ ආකාරයෙන් නිරූපණය කිරීම මම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා.”

එමෙන්ම, තමන් මලල ක්‍රීඩාවෙන් සමුගත්තේ වසර ගණනාවක් පුරා පැවැති නොවිසඳුණු ගැටලු සහ පද්ධතිය පිළිබඳ පැවැති කලකිරීම නිසා මිස, රජය විසින් ඉල්ලන ලද මුදල ලබා දීම ප්‍රතික්ෂේප කළ නිසා නොවන බවද ඔහු නැවතත් අවධාරණය කරයි.