August 8, 2023

‘මියන් කුමාර’ නම් ඇත් පැටවා බෙල්ලන්විල විහාරස්ථානයේ සිට රිදියගම සෆාරි උද්‍යානයට මුදාහැරීමට බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇත.

මියන් කුමාර ඇත් පැටවා 2013 වසරේ මියන්මාර රජය විසින් බල්ලන්විල රජමහා විහාරස්ථානයට පරිත්‍යාග කරන ලදී.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිදු පදනමක් තහවුරු කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බව මෙහිදී සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල නිරීක්ෂණය කර ඇත.

අභියාචනාධිකරණය මෙම නියෝගය කළේ මියන් කුමාර නමැති ඇත් පැටවා බෙල්ලන්විල විහාරස්ථානයේ සිට රිදියගම සෆාරි උද්‍යානයට මුදාහරින ලෙස බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ගොනුකළ රිට් පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවය.

ඇත් පැටවා ගසක බැඳ දම්වැල් බැඳ දුක්ඛිත ජීවිතයක් ගතකරන බවත්, ඇත්ගොව්වා විසින් සත්වයාට කෲර ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගියදා නිකුත් වූ බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් කියා සිටියේය.

ඒ අනුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිස්පතිවරයා සහ බෙල්ලන්විල විහාරාධිපති හිමියන් වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති හිමියන්ට අලි ඇතුන් සන්තකයේ තබාගැනීමට හැකිවන පරිදි බලපත්‍ර නිකුත් කිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට තහනම් කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.