June 9, 2026

ලෝක ප්‍රකට සංචාරක සඟරාවක් වන ‘ටයිම් අවුට්’ (Time Out) විසින් ප්‍රකාශයට පත්කරන ලද ලොව හොඳම ආහාරපාන සහිත නගර වර්ගීකරණයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට පේරු රාජ්‍යයේ ලීමා (නගරය සමත්ව තිබේ.

ලතින් ඇමරිකාවේ සුපිරිම ආහාර අගනගරය ලෙස බොහෝ කලක සිට ප්‍රසිද්ධියට පත් මෙම වෙරළබඩ මහා නගරය, ‘සෙවිචේ’ (ceviche) සහ ‘කවුසා ලිමේනියා’ (causa Limeña) වැනි මුහුදු ආහාර ප්‍රණීතත්වයන් හේතුවෙන් මෙලෙස ඇගයීමට ලක්ව ඇත.

එමෙන්ම, මෙම ලැයිස්තුවට තේරී පත් වූ නගර 20 අතරින් අවන්හල්වලින් ආහාර ගැනීම සඳහා වඩාත්ම දැරිය හැකි (අඩුම) මිල ගණන් පවතින්නේ ද ලීමා නගරයේ බව එහි සඳහන් වේ.

මෙහි දෙවැනි ස්ථානය අඛණ්ඩව දෙවැනි වරටත් දිනාගෙන ඇත්තේ තායිලන්තයේ බැංකොක් නගරයයි.

ඩොලර් 5කටත් වඩා අඩු මිලකට පැණිරස, සැර, ඇඹුල් සහ ලුණු රසයන්ගෙන් යුත් අද්විතීය වීදි ආහාර (Street Food) සංස්කෘතියක් පැවතීම බැංකොක් නගරය මෙලෙස ඉහළින්ම වැජඹීමට හේතු වී තිබේ.

මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය මෙක්සිකෝ සිටි නගරයට හිමිව ඇත.

මිචිලින් තරු (Michelin-starred) සලකුණ ලත් ඉහළ පෙළේ අවන්හල්වල සිට කාර්යබහුල වීදි වෙළඳපොළවල් දක්වා වූ විවිධත්වයකින් යුත් ආහාර සංස්කෘතියක් එහි පවතින අතර, විශේෂයෙන්ම එරට ‘ටැකෝ කොරිඩෝව’ (taco corridor) තුළ අලෙවි වන ‘ටැකෝ අල් පැස්ටර්’ (taco al pastor) ආහාරය එහිදී විශේෂ ඇගයීමකට ලක්ව ඇත.

ලන්ඩන් නගරය සිව්වැනි ස්ථානයට පත්ව ඇති අතර, එහි පවතින ලෝක මට්ටමේ විවිධත්වයෙන් යුත් ආහාර රටාවන් සහ උසස් තත්ත්වයේ අවන්හල් ඒ සඳහා ඉවහල් වී තිබේ. එහිදී ‘බරෝ මාර්කට්’ (Borough Market) වෙත අනිවාර්යයෙන්ම යා යුතු බව සඟරාව නිර්දේශ කරයි.

මධ්‍යධරණී මුහුදු ආශ්‍රිත ආහාර සහ කැටලාන් සම්ප්‍රදායික ආහාර රටාවන් හේතුවෙන් ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරය පස්වැනි ස්ථානය දිනාගෙන ඇත.

ලොව පුරා නගර 150ක පදිංචිකරුවන් 24,000ක් ඇසුරින් සිදුකළ සමීක්ෂණයකට අනුව මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකර ඇත.

එහිදී අවන්හල්වල ගුණාත්මකභාවය, මිලෙහි සාධාරණත්වය සහ ආහාර සංස්කෘතිය යන කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබේ.

ටයිම් අවුට් සඟරාවට අනුව 2026 වසරේ ආහාර සඳහා හොඳම නගර 20:

ලීමා (පේරු)

බැංකොක් (තායිලන්තය)

මෙක්සිකෝ සිටි (මෙක්සිකෝව)

ලන්ඩන් (එක්සත් රාජධානිය)

බාර්සිලෝනා (ස්පාඤ්ඤය)

හෝ චි මිං සිටි (වියට්නාමය)

මෙල්බර්න් (ඕස්ට්‍රේලියාව)

බීජිං (චීනය)

ඇතන්ස් (ග්‍රීසිය)

ලිස්බන් (පෘතුගාලය)

කේප් ටවුන් (දකුණු අප්‍රිකාව)

ඔසාකා (ජපානය)

බැංගලෝර් (ඉන්දියාව)

නේපල්ස් (ඉතාලිය)

නිව්යෝර්ක් සිටි (ඇමරිකා එක්සත් ජනපදය)

හොංකොං

බුවනෝස් අයර්ස් (ආර්ජන්ටිනාව)

මාර්සෙයිල් (ප්‍රංශය)

කෝපන්හේගන් (ඩෙන්මාර්කය)

මෙඩලින් (කොලොම්බියාව)