November 12, 2026

ජාතික ජන බලවේගය නියෝජනය කරන කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය දැඩි ලෙස හෙළාදකින බවත්, ඊට එරෙහිව සිය පක්ෂය විසින් විනය ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපේක්ෂා කරන බවත්, කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

රුපවාහිනී නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමින් ඇමැතිවරයා වැඩිදුරටත් ඒ පිළිබඳව මෙලෙස අදහස් පළකළේය.

“හඳුන්නෙත්ති:
මම ඉස්සෙල්ලම කියන්න ඕනේ, ඒ රන්ජන් ජයලාල් කඩුවෙල නගරාධිපතිවරයා කරපු ප්‍රකාශය අපි සම්පූර්ණ හෙළාදකිනවා. ජනතා විමුක්ති පෙරමුණවත්, ජාතික ජන බලවේගයවත්, අපේ පාක්ෂිකයෙක්වත්, හිතවතෙක්වත් ඒක පිළිගත යුතු ප්‍රකාශයක් නෙවෙයි.

නිවේදකයා:
පළවෙනි වරට මේ ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් තමන්ගේ වරදක් ප්‍රසිද්ධ මාධ්‍යයකට ඇවිල්ලා පිළිගන්නවා…

හඳුන්නෙත්ති:
මම කියන්නේ ඒක පුද්ගලිකවත් කළ යුතු ප්‍රකාශයක් නෙවෙයි. ඒක මොළේ මොකක් හරි අසනීපයක් නිසා කියන කතාවක්. අපි නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ මොකක්ද? පළවෙනියෙන්ම නීතිය අපට අදාළයි, අනිත් අයට කළින්.

අපි කියනවා නම් වක්‍රව හරි, “දැන් මේ කලින් ආණ්ඩුවලට කලින් ගෙනාපු හැම්පර්ස්, මොනවද පහසුකම්, ඒ තෑගි බෝග අපටත් දෙන්න” කියලා, ඒක අල්ලස් ඉල්ලීමක්. ඒක අනිවාර්යයෙන් පක්ෂය හැටියට අපි විනය ක්‍රියාමාර්ග ගන්නවා පක්ෂ මට්ටමින්. අපි පක්ෂයේදී මම යෝජනාත් කරලා තියෙනවා…

නිවේදකයා:
ජාතික ජන බලවේගයෙන්…?

හඳුන්නෙත්ති:
මේ වගේ, ඒ වගේ ප්‍රකාශ මීට පස්සේ අඩු තරමේ ප්‍රසිද්ධියේ නෙවෙයි, අප්‍රසිද්ධියේවත් අපේ කවුරුවත් කියන්න ඕනත් නෑ, පිළිගන්න ඕනත් නෑ, ජනතාව ඒවා අනුමත කරන්න ඕනත් නෑ. නීත්‍යානුකූලවම ක්‍රියාමාර්ග ගන්න ඕනේ ඒවා. මම කියන්නේ ඒකයි. මොකද මේ රටේ නීතිය කාටත් එකයි. මහජන වරමක් කියලා කියන්නේ ජනතාවට උඩින් ඉඳගෙන පහසුකම් භුක්ති විඳින එකක් නෙවෙයි.

අනිවාර්යයෙන්ම නීතිය විතරක් නෙවෙයි, පක්ෂ විනයක් තියෙනවා. ලංකාවේ පක්ෂ විනයක් සහිතව දේශපාලනය කරන, පක්ෂයට වග කියන, අපේ සාමාජිකයාට වග කියන, ජනතාවට වග කියන දේශපාලනයක් අපි කරන්නේ. එයා කියන්න ඕනේ ඒක නෙවෙයි. මම හිතන විදිහට මම මේ ප්‍රසිද්ධියේ කියන්නේ…

නිවේදකයා:
ඔහු, ජනතාවගේ ජනවරමෙන් පත්වෙච්ච මහනගරාධිපති…

හඳුන්නෙත්ති:
ඔව්, මම ප්‍රසිද්ධියේ කියන්නේ තමන් අතින් වෙච්ච වරද එයා ප්‍රසිද්ධියේ මාධ්‍යයට ඉස්සරහා කියලා තියෙන්නේ, ප්‍රසිද්ධියේ ඒක නිවැරදි කරන්න ඕනේ ඉස්සෙල්ලා. තමන් මොන මානසිකත්වයක් නිසා හරි එහෙම කිව්වා නම් ඒක නිවැරදි කරන්න ඕනේ එයා ඉස්සෙල්ලාම. එයාට පුළුවන් ඊට පස්සේ අනිත් අයට චෝදනා ඉදිරිපත් කරන්න, ඒක වෙනම එකක්.

අනික ….., ඔයාට කියන්න පුළුවන්ද, මට කියන්න පුළුවන්ද, “දැන් මේ මම ඇමතිවරයෙක්, මගේ ජීවිත කාලයේ මට දැන් සැප විඳින්න තියෙන්නේ” කියලා? මොන විකාර කතාද? අපි එහෙම මිනිස්සු නෙවෙයි. එහෙම නැතුව ඕන තරම් මේ කැපකිරීම් කරලා වැඩ කරන පක්ෂ සාමාජිකයෝ ඉන්නවා, මන්ත්‍රීවරු ඉන්නවා, අපේ NPP එකත් එක්ක එකතු වෙච්ච වෘත්තිකයෝ ඉන්නවා, රස්සාව පැත්තකින් තියලා.

බලය විසින් මිනිස්සු පිරිහීමට පත්කරනවා, තනි තනිව ගත්තොත්. හැබැයි අපි හිතනවා සංවිධානාත්මක ව්‍යාපාරයක් හැටියට අපට ඒක අයිති නැහැ. අපිට එහෙම කරනවා නම් ඔබ දන්නවා අපේ ඉතිහාසයේ නායකයෝ ඉඳලා තියෙනවා පිරිහිච්ච අය, අපි නායකයෝද කියලා බලන්නේ නැතුව එළියට දාලා තියෙනවා. අපේ පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි වැඩ කරනකොට මේ රටේ මිනිස්සු දන්නවා ඕන තරම්, අපිට ඒගොල්ලොන්ගේ තිබිච්ච පුද්ගලික වටිනාකම් අනුව, දක්ෂතා අනුව නම්…

නිවේදකයා:
ජනප්‍රියත්වය අනුව…

හඳුන්නෙත්ති:
ඔව්, ජනප්‍රියත්වය අනුව තියාගන්න තිබුණා. එහෙම තියාගන්නේ නැතුව ඕන තරම් මිනිස්සු මේකෙන් එළියට ගිහිල්ලා තියෙනවා.

නිවේදකයා:
ඔබ අනතුරු ඇඟවීමක් කරන්නේ…

හඳුන්නෙත්ති:
එළියට යවලා තියෙනවා.

නිවේදකයා:
ඔබ ආණ්ඩුවේ අයට අනතුරු ඇඟවීමක් කරන්නේ හැදෙන්න කියලා?

හඳුන්නෙත්ති:
අනිවාර්යයෙන්ම. මම කියන්නේ ඒ රන්ජන් ජයලාල් කරපු මුග්ධ ප්‍රකාශය අනිත් හැමෝටමත් ආදර්ශයක් කරගන්න ඕනේ, මොකද හැදෙනවා නම් හැදෙන්න. ඒකයි මම කියන්නේ. ඒක හින්දා පක්ෂයක් හැටියට නම් මගේ ස්ථාවරය, අපේ පක්ෂයේ ස්ථාවරයත් ඒකයි කියලා මම විශ්වාස කරනවා. අනිවාර්යයෙන් පක්ෂය හැටියට විනය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒ වගේම ඔහු පුද්ගලිකව ඒ කරපු ප්‍රකාශය වැරදියි කියලා ප්‍රසිද්ධියේ පිළිගන්නත් ඕනේ.”