June 13, 2026

එංගලන්තයේ එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ 2026 ICC කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ මංගල තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදා ලකුණු 87ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

බටහිර ලන්ඩනයේ ප්‍රකට ‘Wicked’ නාට්‍ය කණ්ඩායමේ අලංකාර සජීවී ප්‍රසංගයකින් හැඩවුණු සමාරම්භක උත්සවයෙන් පසු පැවැත්වුණු මෙම තරගයේදී ප්‍රේක්ෂකයන් මුසපත් කිරීමට එංගලන්ත ආරම්භක පිතිකාරිනී Danni Wyatt-Hodge සමත්වූවාය.

කාසියේ වාසිය පරාජය වී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී එක් කඩුල්ලක් පමණක් අහිමි කරගනිමින් ලකුණු 219ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.

එංගලන්ත ඉනිම සරසමින් අගනා ඉනිමක් ක්‍රීඩා කළ Danni Wyatt-Hodge පන්දු 62කදී හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 105ක් රැස් කළාය.

මෙය කාන්තා T20 ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වූ 7 වැනි ශතකය ලෙස ද ඉතිහාසයට එක්විය.

ඇයට අනගි සහයක් දුන් Amy Jones පන්දු 38කදී ලකුණු 53ක් රැස් කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 135ක සබඳතාවක් පැවැත්වූහ.

ඉන්පසු පිටියට පිවිසි එංගලන්ත නායිකා Nat Sciver-Brunt පන්දු 22කදී වේගවත් ලකුණු 46ක් නොදැවී රැස් කරමින් එංගලන්ත ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවාය.

පන්දු රැකීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් සිදු වූ වැරදීම් කිහිපයක් (කවිෂා දිල්හාරි සහ සුගන්දිකා කුමාරි අතින් ගිලිහී ගිය උඩපන්දු) එංගලන්තයට වාසිසහගත විය.

ලංකාව වෙනුවෙන් බිඳ වැටුණු එකම කඩුල්ල මල්කි මදාරා විසින් දවාගත් අතර, නායිකා චමරි අතපත්තු එහි උඩපන්දුව ලබාගත්තාය.

ලකුණු 220ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භයේ සිටම දැඩි පීඩනයකට මුහුණ දීමට සිදුවිය.

ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්න ලකුණු හයක් ලබා සිටියදී ලෝරන් බෙල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවිය. කණ්ඩායමේ බලාපොරොත්තුව වූ නායිකා චමරි අතපත්තු ද ලකුණු 4කට දවා ගැනීමට චාලි ඩීන් සමත් වූවාය.

හර්ෂිතා සමරවික්‍රම හතරේ පහර 4ක් සමඟින් ලකුණු 29ක් සහ නිලක්ෂිකා ද සිල්වා සටන්කාමී ලකුණු 39ක් රැස් කරමින් ඉනිම ගොඩනැඟීමට උත්සාහ කළ ද, Freya Kemp ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමුවාය. ඇය තරගයේ 13 වැනි පන්දුවාරයේදී පන්දු 4ක් තුළ කඩුලු 3ක් දවා ගැනීමට සමත්වූවාය.

අවසානයේදී ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 20කදී ලකුණු 132කට සීමා වූ අතර, එංගලන්තය ලකුණු 87ක ජයක් සමඟින් ‘B’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය. ෆ්‍රෙයා කෙම්ප් ලකුණු 22කට කඩුලු 4ක් දවාගත්තාය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ඊළඟ තරගය Hampshire Bowl හිදී නවසීලන්තයට සමග ලබන අඟහරුවාදා (ජුනි 16) පැවැත්වීමට නියමිතය.