October 15, 2026

දෙහිවල සත්වෝද්‍යානයේ සිටින සීබ්‍රා සත්වයෙකුගේ ආහාර ජීරණ පද්ධතියේ ඇති වූ අවහිරවීමක් ඉවත් කිරීම සඳහා සිදු කරන ලද හදිසි ශල්‍යකර්මයකින් පසුව එම සත්වයා පූර්ණ සුවය ලබා ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය සැප්තැම්බර් 29 වන දින මෙම සත්වයා රෝගී වූ අතර පරීක්ෂණ මගින් ආහාර ජීරණ පද්ධතියේ ඇතුළත අවහිරවීමක් සිදුව ඇති බව අනාවරණය වීමෙන් පසුව ඔක්තෝබර් 9 වන දින මෙම ශල්‍යකර්මය සිදු කර තිබිණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ධම්මික පෙරේරාගේ මගපෙන්වීම යටතේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය විසින් මෙම ශල්‍යකර්මය සිදු කර ඇත.

ශල්‍යකර්මයෙන් පසු මෙම සීබ්‍රා දින කිහිපයක් පශු වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ සිටි අතර දැනට එම සත්වයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, සාමාන්‍ය පරිදි ආහාර ගැනීම ද ආරම්භ කර ඇති බවත් දෙපාර්තමේන්තුව පවසයි.