June 21, 2026

ලබන අගෝස්තු මස 10 වන දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇති 2026 අ.පො.ස. උසස් පෙළ විභාගය තවදුරටත් කල් දමන ලෙස විවිධ පාර්ශවයන්ගෙන් ඉල්ලීම් ලැබී තිබුණ ද, විභාගය පැවැත්වෙන කාල වකවානුව සංශෝධනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් පැන නොනඟින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර සිටියි.

විභාගය කල්දැමීමට නොහැකි වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයක මෙසේ කරුණු දක්වා ඇත:

– විෂය නිර්දේශය ආවරණය කිරීම: ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කර ඇති ගුරු මාර්ගෝපදේශවලට අනුව උසස් පෙළ විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම සඳහා අවශ්‍ය වන්නේ දින 300ක් පමණි.

– පාසල් පවත්වා ඇති දින ගණන: 2026 වසරේ උසස් පෙළ විභාගයට පෙනීසිටින පළමු වර සිසුන් වෙනුවෙන්, ඉගැන්වීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළ දින සිට 2026 අගෝස්තු 07 දක්වා පාසල් පැවැත්වෙන මුළු දින ගණන 343ක් වන බැවින් විෂය බාහිරව ද ප්‍රමාණවත් කාලයක් ලැබී ඇත.

– නැවත විභාගයට පෙනීසිටින සිසුන් සඳහා කාලය: මෙවර උසස් පෙළ විභාගයට දෙවැනි සහ තෙවැනින වර (Repeat) පෙනී සිටීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා, ඔවුන්ගේ පෙර විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ දිනයේ සිට මෙවර විභාගය පැවැත්වෙන දිනය දක්වා මාස 4ක් සහ දින 10ක කාල පරතරයක් ලැබී තිබේ.

ඒ අනුව, 2026 අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනීසිටින සියලුම සිසුන් හට විභාගය සඳහා සූදානම් වීමට අවශ්‍ය උපරිම සහ නියමිත කාලය ලැබී ඇති බැවින්, විභාගය නියමිත දිනටම පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.