October 15, 2026

අසනීප තත්ත්වයෙන් පසුවන කාවන්තිස්ස නමැති හස්තියාගේ ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය වැඩිදුර තොරතුරු ලබාගැනීමේ අරමුණින්, එම හස්තියාගේ රාත්‍රී කාලයේ හැසිරීම් නිරීක්ෂණය කිරීම සඳහා තාප ප්‍රතිබිම්බ තාක්ෂණය (Thermal-imaging) සහිත ඩ්‍රෝන යානා යෙදවීමට පියවර ගෙන තිබේ.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති අතර, රාත්‍රී කාලයේදී මෙම හස්තියාගේ චලනයන්, ජලය පානය කිරීම සහ සෙසු ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.

අඩු ආලෝක තත්ත්වයන් යටතේ නිරීක්ෂණ කටයුතු සිදුකිරීමට හැකි වන පරිදි තාප ප්‍රතිබිම්බ තාක්ෂණයෙන් යුත් ඩ්‍රෝන යානා ලබාගැනීමට අවශ්‍ය කටයුතු අමාත්‍යවරයා විසින් සම්පාදනය කර තිබේ.

මෙම රාත්‍රී කාලයේ සිදුකෙරෙන නිරීක්ෂණ මගින් රැස්කරගන්නා තොරතුරු, කාවන්තිස්ස හස්තියාගේ හැසිරීම පිළිබඳව නිසි අවබෝධයක් ලබාගැනීමට සහ ඉදිරි ප්‍රතිකාර සම්බන්ධයෙන් දැනුවත් තීරණ ගැනීමට පශු වෛද්‍ය කණ්ඩායමට බෙහෙවින් උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

හස්තියා සඳහා වන ප්‍රතිකාර සැලසුම සකස් කර ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන්ගේ ද දායකත්වයෙනි.

මීට අමතරව, අදාළ ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කරන ලෙසත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක අතිරේක පශු වෛද්‍ය සහාය ලබාගන්නා ලෙසත් අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.