September 17, 2025

2027න් පසු ක්‍රියාත්මක වන නව නීති හමුවේ යුරෝපා සංගමයේ වෙළඳපොළට ප්‍රවේශ වීමේදී ශ්‍රී ලංකාව නව අභියෝගවලට මුහුණදෙනු ඇතැයි ජර්මානු විශේෂඥයෙක් පවසයි.

ඒ, අමෙරිකාව පැනවූ නව තීරුබදු සහ GSP+ නිසා ශ්‍රී ලංකාව සිය අපනයන වර්ධනයේ ප්‍රබල අර්බුදයකට මුහුණ දී ඇති පසුබිමක් තුළය.

ජර්මනියේ බර්ලින් නුවරදී ශ්‍රී ලාංකික පාර්ශවකරුවන් පිරිසක් අමතමින් මානව හිමිකම් සහ වගකිවයුතු ව්‍යාපාර පිළිබඳ විශේෂඥයෙකු වන Markus Loning පැවසුවේ, යුරෝපා සංගමයේ රටවල් සඳහා ආනයනය කෙරෙන ලී, කොකෝවා, කෝපි, ෆාම් ඔයිල්, සම් සහ හරක් මස්, සෝයා සහ රබර් යන අංශ සඳහා එලෙස බලපෑම් එල්ල වනු ඇති බවයි.

එම රෙගුලාසිවලින් බොහෝමයක් ශ්‍රී ලංකාවට අදාළ නොවන නමුත් අවම වශයෙන් කිහිපයක් හෝ අදාළ වනු ඇතැයි ඔහු පැවසුවේය. එබැවින් එම තත්වය සැලකිල්ලට ගැනීම වැදගත් බව ද Markus Loning පෙන්වාදෙයි.

ඔහු පවසන පරිදි යුරෝපා සංගමයේ වනාන්තර විනාශ කිරීමට විරෝධී රෙගුලාසියෙන් ඉල්ලා සිටින්නේ, ආනයනික භාණ්ඩ යුරෝපා සංගම් වෙළඳපොළේ තැබිය හැක්කේ ඒවා වනාන්තර විනාශයට හේතු වී නොමැති නම් පමණකි.

එවැනි රෙගුලාසියක් බලාත්මක කිරීමට හේතුව පැහැදිලි කරමින් ඔහු කියාසිටියේ, තවදුරටත් වන විනාශය කිසිදු ආකාරයකින් දිරිගැන්වීමට යුරෝපා සංගමයට අවශ්‍ය නොවන බවයි.

“ගස් කපා හෙළිපෙහෙළි කළ ඉඩම්වල වගාකරන නිෂ්පාදන මිලදී ගැනීමෙන් වළකින්න අපට අවශ්‍යයි. ඒ සඳහා යුරෝපා සංගමය වසර කිහිපයකට පෙර මූලික පදනමක් ගන්නවා. ඉන්පසු ඔවුන් මෙම ද්‍රව්‍ය පැමිණෙන්නේ කොතැනින්ද යන්න සලකා බලනවා. එම රෙගුලාසිවලට පටහැනි නම් එම භාණ්ඩවලට යුරෝපීය වෙළඳපොළට ඇතුළු වීමට නොහැකි වනු ඇත ”ඔහු පැවසීය.

එමෙන්ම යුරෝපා සංගමය විසින්, බලහත්කාරයෙන් කම්කරු ශ්‍රමය භාවිත කිරීම ද නියාමනය කරනු ඇතැයි ඔහු පැවසීය.

මෙම නීතිය ක්‍රියාත්මක වූ පසු, බලහත්කාර ශ්‍රමය පිළිබඳ සැකයක් ඇත්නම්, යුරෝපීය සංගමයේ බලධාරීන් සැපයුම් දාමයන් පිළිබඳව විමර්ශනය කරනු ඇති බවත්, එම නව රෙගුලාසි අනුව සැකකටයුතු තත්වයකදී බලධාරීන්ට සැකයෙන් තොර සාක්ෂි තිබිය යුතු බවත් ඔහු පැවසීය.

එමෙන්ම Markus Loning පෙන්වාදුන්නේ, ආනයනය කරන භාණ්ඩ බලහත්කාරයෙන් ශ්‍රමය යොදවා නිෂ්පාදනය නොකරන බවට අදාළ රටවල් සහතික විය යුතු බව‍යි.