October 11, 2026

පිලිපීනයේ මැනිලා නුවරදී පැවැති ‘මිසස් ටුවරිස්ම් වර්ල්ඩ් 2026’ අන්තර්ජාතික රූපලාවණ්‍ය තරගාවලියේදී කිරුළ දිනාගත් ශ්‍රී ලාංකේය ගුරුවරියක, රූපවාහිනී නිවේදිකාවක සහ රංගන ශිල්පිනියක වන නිමේෂා ප්‍රේමචන්ද්‍ර තමා වෙත ලැබුණු මෙම ගෝලීය ඇගයීම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය අන්තර්ජාතිකව ප්‍රවර්ධනය කිරීම සඳහා යොදාගැනීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව ප්‍රමුඛ පෙළේ ගෝලීය සංචාරක ගමනාන්තයක් ලෙස ලොව පුරා ප්‍රචලිත කිරීමේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඇය පසුගිය ඔක්තෝබර් 09 වැනිදා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ හමුවී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ සංස්කෘතික උරුමය, මනස්කාන්ත ස්වාභාවික සෞන්දර්යය සහ සංචාරක ආකර්ෂණීය ස්ථාන අන්තර්ජාතික සංචාරකයින් හමුවට ගෙන යාම සඳහා ඇයගේ අන්තර්ජාතික වේදිකාව උපරිමයෙන් භාවිත කරන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමුකර තිබේ.

ලොව පුරා රටවල් 20 ක පමණ තරගකාරියන් පරාජය කරමින් නිමේෂා ප්‍රේමචන්ද්‍ර මෙම අභිෂේකය ලබා ඇත්තේ, පසුගිය ඔක්තෝබර් 02 වැනිදාය.

ප්‍රධාන කිරුළට අමතරව අධ්‍යාපනය පිළිබඳ තානාපති සම්මානය, හොඳම රැම්ප් නිරූපිකාව, දක්ෂතා අංශයේ රිදී සම්මානය සහ බලපෑම් සහගත කාන්තා සම්මානය යන විශේෂ සම්මාන හතර ද ඇය විසින් හිමිකර ගෙන ඇත.

ඇයගේ ප්‍රධාන සමාජ මෙහෙවර තේමාව වන ‘සංස්කෘති යා කරමු – අනාගත පුරවැසියන් පෝෂණය කරමු’ යන්න යටතේ සංස්කෘතික හුවමාරුව, අධ්‍යාපනය, කාන්තා සවිබල ගැන්වීම මෙන්ම අගහිඟකම් ඇති දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් පෙනී සිටීමට ඇය කටයුතු කරනු ලබයි.

නිමේෂා ප්‍රේමචන්ද්‍ර ලබාගත් මෙම අන්තර්ජාතික ජයග්‍රහණය තුළින් අන්තර්ජාතික ප්‍රජාව අතර ශ්‍රී ලංකාවේ ප්‍රචාරණය සහ ආකර්ෂණය ඉහළ නැංවීමට විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි සංචාරක අමාත්‍යාංශය විශ්වාසය පළකරයි.