June 22, 2026

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සකු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සමක් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

පෙත්සම්කාර රේණුක පෙරේරා සිය පෙත්සම මඟින් පෙන්වා දී ඇත්තේ, ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වීමෙන් අනතුරුව ද ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් සිටින බවයි.

රාජ්‍ය නිලධාරියකු හෝ රජයේ තනතුරක් දරන අයෙකුට අදාළ වන නීතිමය ප්‍රතිපාදන හා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ප්‍රකාරව, එවැනි තනතුරක් දරන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට ඔහුට නීතිමය සුදුසුකමක් නොමැති බව පෙත්සම්කරු තර්ක කරයි.

ඒ අනුව ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධුරය බලාත්මක නොවන බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල, මෙම නඩුව විභාගයට ගැනීමට ප්‍රමාණවත් නීතිමය පදනමක් පවතින බව නිගමනය කරමින් අභියාචනය ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ලබා දෙන ලදී.

සිද්ධියට අදාළ වැඩිදුර විභාගය ඉදිරි දිනයකදී පැවැත්වීමට නියමිතය.