July 31, 2026

සීගිරිය නගරයට ඇතුළු වූ වන අලින් තිදෙනකු නිවසක වත්තේ තිබූ කොස් ගසකින් කොස් කෑම සඳහා එහි අඩි 200 ක් දිග තාප්පය පෙරළා දමා තිබේ.

අලුයම 3.30 ට පමණ වන අලින් තිදෙනෙකු අඩි 200 ක් දිග තාප්පය පෙරළා දමා වත්තට ඇතුළු වී කොස් අනුභව කළ බව අදාළ නිවසේ හිමිකරු පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් දැනුවත් කළද කිසිදු පලක් නොවූ බව නිවැසියෝ පවසති.

සිය නිවස වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලයට ඉතා ආසන්නයේ පිහිටා තිබුණද, වාහනයක් නොමැති බව පවසමින් නිලධාරීන් ස්ථානයට පැමිණීම මගහැරි බවද ඔවුහු පෙන්වාදෙති.

තමන් දිගු කලක සිට වන අලි තර්ජනයට මුහුණදෙන බවත්, නිරන්තර බියෙන් පසුවන බවත් සීගිරිය ප්‍රදේශවාසීහු පැවසති.

දහවල් සහ රාත්‍රී කාලයේ සීගිරියේ සංචාරය කරන සහ මාර්ගවල ගැවසෙන සංචාරක කණ්ඩායම්ද මෙම චණ්ඩ වන අලින්ගේ තර්ජනයට ලක්වීමේ දැඩි අවදානමක පසුවන බව ඔවුහු වැඩිදුරටත් පෙන්වාදෙති.