September 24, 2024

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු හදිසියේ පැය 14ක කාලයක් සඳහා ඇඳිරිනීතිය පැනවීමට ගත් තීරණය නිෂ්ඵල සහ අනවශ්‍ය ක්‍රියාවක් බව යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂක සැන්චෙස් අමෝර් ප්‍රකාශ කළේය.

නිරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඔවුන් සිය මෙහෙවරෙන් පසු මාධ්‍ය අමතමින් සඳහන් කළේ සෙනසුරාදා රාත්‍රී 10 සිට පසුදා උදේ 6 දක්වා රජය ඇඳිරි නීතිය පැනවූ අතර එය දහවල් 12 දක්වා දීර්ඝ කළේ මන්දැයි අවිනිශ්චිත බවක් පෙනෙන්නට තිබූ බවයි.

“මෙරට ඉතිහාසයේ ඉතාම සාමකාමී මැතිවරණ ක්‍රියාවලිය මෙය බව මැතිවරණ කොමිෂන් සභාව කියන රාජ්‍ය ආයතනය විසින් කියපු දවසේම ඇඳිරිනීතිය දැම්මා. මේක ගැළපෙන්නේ නෑ. මැතිවරණ කොමිසම කියන්නේ රාජ්‍ය ආයතනයක්, මේක ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය කියලා කියලා තියෙද්දී ඇඳිරිනීතිය දැමීම නිසා කොහෙවත් යන්න වෙලාවක් නැතුව හදිසියේම අපේ කණ්ඩායම්වලට හෝටලයට යන්න කියන්න වුණා. මට නම් එය වැඩකට නැති අනවශ්‍ය ඇඳිරි නීතියක් සහ ඡන්දදායකයන්ගේ විශිෂ්ට හැසිරීම සමඟ ගැළපෙන්නේ නෑ.” යනුවෙන් ඔහු සඳහන් කළේය.

“පුරවැසියන්ගේ කැපවීම, බුද්ධිමත්ව කටයුතු කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සාමකාමීව හා ගෞරවාන්විතව ක්‍රියාත්මක කිරීම ගැන ආණ්ඩුව ස්තුතිවන්ත වුණා. කෙසේවෙතත්, එදින සවස රජය ප්‍රකාශ කළේ, ‘අපිට මැර කල්ලි විශ්වාස නැහැ. ඔබ පුරවැසියකු වීම හෝ මැර කල්ලියක කොටසක් වීම යන දෙකෙන් එකක් තෝරා ගත යුතුයි.’ යනුවෙන්. ඡන්දදායකයන්ගේ ආදර්ශවත් හැසිරීම් සහ අතීත දේශපාලන බෙදීම් මත මුල් බැස ගත් අකමැත්ත අතර පරතරය හඳුනා ගැනීම රටට තීරණාත්මයි” යැයි ද ඔහු සඳහන් කළේය.

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම ඔක්තෝබර් මැද දක්වා ක්‍රියාත්මක වන බව ද ප්‍රධාන නිරීක්ෂකයා පැවසීය.

නව පරිපාලනය සඳහා නිර්දේශ මාලාවක් ඇතුළත් වාර්තාවක් ද ඔවුන් විසින් නිකුත්කිරීමට නියමිතය.

මීට අමතරව, රටේ මැතිවරණ ක්‍රමයේ විශිෂ්ට පැවැත්ම ගැන සාකච්ඡා කිරීමට ජනවාරි මාසයේදී තවත් රැස්වීමක් පැවැත්වේ.

42.31%
17.27%
32.76%