April 16, 2026

කල් ඉකුත් වූ ප්‍රතික්‍රියාකාරක භාවිත කර කොළඹ ජාතික රෝහලේ රසායනාගාරවල සිදු කරන ලද පරීක්ෂණ සම්බන්ධයෙන් නිකුත් කරන ලද විගණන පරීක්ෂණය පිළිබඳ අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද විමර්ශනයේ ප්‍රමාදය සැක සහිත බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සඳහා වූ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පැවසීය.

කල් ඉකුත් වූ ප්‍රතික්‍රියාකාරක සහ කල් ඉකුත් වීමට ආසන්න ප්‍රතික්‍රියාකාරක මිලදී ගැනීම ඇතුළු අක්‍රමිකතා ගණනාවක් විගණනයෙන් අනාවරණය වී වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වීම මහජන විශ්වාසය කඩ කිරීමක් බව ඔහු පැවසීය.

කොළඹ ජාතික රෝහලේ සේවය කළ රෝහල් පරිපාලකයන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව විගණනයෙන් කරුණු අනාවරණය වී තිබිණි.

වත්මන් රජය යටතේ වගකිවයුතු නිලධාරීන් බොහෝ දෙනෙකු ඉහළ තනතුරු දැරීම නිසා විමර්ශනය ප්‍රමාද වීමට හේතු වී ඇති බවට සැක කරන බව ද ඔහු පැවසීය.

පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදු වූ දූෂණ, වංචා සහ අක්‍රමිකතාවලට සම්බන්ධ බොහෝ නිලධාරීන් වත්මන් රජය යටතේ ද ඉහළ තනතුරු දරන බවට ජනාධිපතිවරයාට අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇතත් ප්‍රතිඵලයක් නොලැබුණු බව ද ඔහු පැවසීය.