October 17, 2026

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් මහේල ජයවර්ධන ඉල්ලා අස්වී ඇති බව එම කණ්ඩායම සෙනසුරාදා නිල වශයෙන් නිවේදනය කළේය.

මහේල ජයවර්ධන දෙවැනි වරටත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්ව පසුගිය වාර දෙක තුළ කටයුතු කළ අතර, ඊට පෙර 2017 සිට 2022 දක්වාද ඔහු එම ධුරය හොබවන ලදී.

සිය ඉල්ලා අස්වීම පිළිබඳව අදහස් දක්වමින් මහේල ජයවර්ධන සඳහන් කර ඇත්තේ, “දශකයකට වැඩි කාලයක් තිස්සේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මගේ ජීවිතයේ ඉතා විශේෂ කොටසක් වුණා. ක්‍රීඩකයන්, පුහුණුකාර මණ්ඩලය, ‘OneFamily’ හි සහයෝගය සහ විශේෂයෙන්ම රසිකයින් ලබාදුන් සහයෝගය මම සැමදා අගය කරනවා. වසර ගණනාවක් පුරා තබා තිබූ විශ්වාසය සහ ලබාදුන් සහයෝගය වෙනුවෙන් නීටා අම්බානි මහත්මියට සහ ආකාශ් අම්බානිට මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා” යනුවෙනි.

මාක් බවුචර්ගෙන් පසු 2025 IPL තරගාවලියට පෙර මහේල නැවතත් ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වූ අතර, 2022 සිට 2024 දක්වා කාලය තුළ ඔහු මුම්බායි ඉන්දියන්ස් හි ගෝලීය කාර්ය සාධන ප්‍රධානී (Global Head of Performance) ලෙසද කටයුතු කළේය. එහිදී MI Emirates (ILT20), MI New York (MLC) සහ MI Cape Town (SA20) යන සෙසු ෆ්‍රැන්චයිස් කණ්ඩායම් තුනෙහි කටයුතු පාලනය කිරීමද ඔහු යටතේ සිදුවිය.

මහේලගේ පළමු පුහුණුකාර කාලසීමාව තුළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම IPL ශූරතා 3 ක් දිනාගැනීමට සමත් වූ අතර, ඔහුගේ දෙවැනි කාලසීමාවේදී 2025 වසරේදී 4 වැනි ස්ථානය සහ 2026 වසරේදී 9 වැනි ස්ථානය ලබාගැනීමට මුම්බායි කණ්ඩායමට සිදුවිය.