October 17, 2026

ශ්‍රී ලංකාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත්කිරීමේ වැදගත්කම ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශිත බ්‍රිතාන්‍ය රංගන ශිල්පිනී සහ Mines Advisory Group (MAG) හි ගෝලීය තානාපතිනි රොසමන්ඩ් පයික් විසින් අවධාරණය කර ඇත. ඒ සඳහා බිම්බෝම්බ අනතුරකට ලක්ව දිවි බේරාගත් දේශීය කාන්තාවකගේ සංවේදී කතාව ඇය අන්තර්ජාලය හමුවේ තබා ඇත.

මානුෂීය බිම්බෝම්බ ඉවත්කිරීමේ සංවිධානය සමඟ ශ්‍රී ලංකාවේ කළ සංචාරයෙන් පසුව, සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පයික් සඳහන් කර ඇත්තේ, දර එකතු කිරීමට ගිය අවස්ථාවකදී නොදැනුවත්වම පුපුරන ද්‍රව්‍යයක් ඇල්ලීම නිසා නව යොවුන් වියේදී ජීවිත කාලයටම බලපාන තුවාල ලැබූ ‘වික්ටෝරියා’ නම් කාන්තාව හමු වූ ආකාරයයි.

“Mines Advisory Group සංවිධානය සමඟ කළ මගේ ශ්‍රී ලංකා සංචාරයේදී මට වික්ටෝරියා හමුවීමට අවස්ථාව ලැබුණා. ඇයට වයස අවුරුදු 18 දී, දර එකතුකරන්න ගිය වෙලාවක බිම තිබී කුතුහලය දනවන අමුතු භාණ්ඩයක් හමු වී තිබෙනවා. ඒ මොකක්ද කියලා ඇය දැනගෙන හිටියේ නැතත්, ඒ ගැන තිබුණු කුතුහලය නිසා ඇයට එය ඇරලා ඇතුළේ තියෙන්නේ මොනවාද කියලා බලන්න හිතිලා තිබෙනවා. ඇගේ පළමු උත්සාහය වුණේ ඒක ඇරලා බලන එකයි… නමුත් මුකුත් වුණේ නැහැ. ඊටපස්සේ ඇය ඒක බිමට දාලා පයින් ගහන්න උත්සාහ කළා. එතකොටත් මුකුත් වුණේ නැහැ. පසුව ඇය පාරේ වාඩි වෙලා, ඒකේ පියනක් යැයි සිතූ කොටස තදකරන්න ඇගේ උකුල මත තබාගෙන තිබෙනවා. ඒ භාණ්ඩය ඇරීම සඳහා ඇගේ අතින් තදින් තෙරපීමක් කර තිබෙනවා. ඊටපස්සේ ඇයට සිහිය ඇවිත් තියෙන්නේ රෝහලේදී. ඒ වන විටත් ඇගේ අත් දෙකම අහිමි වී, මුහුණේ කොටසකට හානි වී, හදවත අසල අභ්‍යන්තර තුවාල ලබා තිබුණා” ඇය පවසයි.

වික්ටෝරියාගේ මෙම ගමන ‘නොපසුබට උත්සාහය සහ බලාපොරොත්තුව පිළිබඳ අදහාගත නොහැකි කතාවක්’ ලෙස විස්තර කරන MAG තානාපතිනිය, යුද්ධය අවසන් වී දශක ගණනාවකට පසුවත් පැරණි යුද කලාපවල ඉතිරිව ඇති බිම්බෝම්බවලින් එල්ල වන නිරන්තර තර්ජනය අවධාරණය කරයි.

“ඇගේ කතාවෙන් පැහැදිලි වන්නේ මෙම බිම්බෝම්බ ඉවත් කිරීමේ කර්තව්‍යය කොතරම් වැදගත්ද යන්නයි. බිම්බෝම්බ සහ නොපිපිරුණු පුපුරන ද්‍රව්‍ය දශක ගණනාවක් තිස්සේ සැඟවී තිබිය හැකි අතර, දරුවන්ගේ එදිනෙදා ජීවිතයට විශාල තර්ජනයක් එල්ල කරනවා” පයික් වැඩිදුරටත් අවධාරණය කරයි. “වික්ටෝරියා මුහුණ දුන් අවාසනාවන්ත ඉරණමට වෙනත් කිසිදු දරුවෙකුට මුහුණ දීමට සිදු නොවන පරිදි මේ භූමිය සම්පූර්ණයෙන්ම බිම්බෝම්බවලින් නිදහස් කළ යුතුයි.”