October 17, 2026

ශ්‍රී ලංකාවට බෝට්ටු මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ විජේගේ ‘TVK’ පක්ෂයේ නිලධාරියෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ඉන්දියානු නළු සහ දේශපාලනඥ විජේගේ ‘තමිළග වෙට්රි කසාගම්’ (TVK) පක්ෂයේ නිලධාරියකු, මුහුදු මාර්ගයෙන් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීමට තැත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ TVK පක්ෂයේ නාගපට්ටිනම් දිස්ත්‍රික් විධායක කමිටු සාමාජිකයකු වන 42 හැවිරිදි එන්. භූපාලන් නමැත්තෙකි.

ඉන්දීය ජනමාධ්‍ය වාර්තා සදහන් කර ඇත්තේ, නාගපට්ටිනම් ප්‍රදේශයේ සිදුවන බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී භූපාලන් ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බවයි.

මෙම මෙහෙයුමේදී ආරක්ෂක අංශ විසින් කිලෝග්‍රෑම් 100 කට ආසන්න අයිස් ප්‍රමාණයක් සොයාගෙන ඇත.

නාගපට්ටිනම් සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ආරක්ෂක නිලධාරීන් ඔක්තෝබර් 16 වැනි දින පෙරවරු 6.00 ට පමණ මෙම වැටලීම් ආරම්භ කර තිබේ.

පරීක්ෂකවරුන් පළමුව එක් සැකකරුවකුගේ නිවස සෝදිසි කර ඇති අතර, පසුව භූපාලන්ගේ නිවසද වැටලීමට ලක්කරමින් මෙම ජාවාරමේ ප්‍රධාන චරිතයක් ලෙස ඔහු හඳුනාගෙන ඇත.

භූපාලන්ගේ බිරිඳ ශ්‍රී ලාංකික ජාතිකයකු වන අතර, මෙම සැකකටයුතු ජාවාරම් ජාලය පිළිබඳ සිදුකරන පරීක්ෂණවල කොටසක් ලෙස පරීක්ෂකයින් එම සබඳතාව පිළිබඳවද අවධානය යොමුකරමින් සිටින බව වාර්තා වේ.

මෙම අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය චෙන්නායි සිට ප්‍රවාහනය කර තමිල්නාඩුවේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීමට සහ ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීමට මෙලෙස ගබඩා කර තිබූ බව කියැවේ.

මෙහෙයුමෙන් අනතුරුව, සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා නාගපට්ටිනම් රේගු කාර්යාලය වෙත භාරදී ඇත.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීම සහ පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් භූපාලන්ව පක්ෂයේ ප්‍රාථමික සාමාජිකත්වයෙන් සහ සියලු තනතුරුවලින් නෙරපා හරින ලද බව TVK නාගපට්ටිනම් දිස්ත්‍රික් ලේකම් එම්. සුගුමාරන් නිවේදනය කර තිබේ.