July 11, 2025

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට පැමිණිලි කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව උපදෙස් දී ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේ, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සිදුව ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව සහ එහි සමස්ත අමාත්‍ය මණ්ඩලය වගකීම භාරගත යුතු බවයි.

යහපාලන ආණ්ඩුව එම ආයතනය මහපොළ ශිෂ්‍යත්ව අරමුදලින් ඉවත්කර සීමිත සමාගමක් බවට පත්කිරීම හේතුවෙන්, එහි මුල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බව ද ඔහු පැහැදිලි කළේය.

“2015 වනතුරු තොරතුරු තාක්ෂණ ආයතනය මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ක්‍රියාත්මක කළමණාකරණ මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වුණා. එහෙත් 2015 වසරේ යහපාලන රජය මහපොළ ශිෂ්‍යත්ව අරමුදල නොමැතිව කළමනාකරණ මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹීමට තීරණය කළා. මෙම ගිවිසුම සඳහා විෂය අමාත්‍යාංශයෙන් නිල අනුමැතියක් ලබා දී නොමැති අතර, මහපොළ ශිෂ්‍යත්ව අරමුදල එවැනි තීරණයක් ගෙන තිබුණේ නැහැ.” යනුවෙන් අමාත්‍යවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාසගෙන් සැදුම්ලත් එවකට පැවැති ආණ්ඩුව සහ කැබිනට් මණ්ඩලය විසින් රෙගුලාසි නොතකා ගිවිසුම අත්සන් කර ඇති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේදී අනාවරණය වී ඇති බවයි.

“ජනාධිපති කොමිසමේ නිර්දේශ නොසළකා හරිමින් 2017 දී මේ රජය සහ කැබිනට් මණ්ඩලය තොරතුරු තාක්ෂණ ආයතනය සීමිත සමාගමක් බවට පත්කිරීමට තීරණයක් ගත්තා. ඒ සඳහා ඔවුන් එම ආයතනයේ ලාභයෙන් රුපියල් මිලියන 408ක් මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට පරිත්‍යාග කරලා. මේ මුදල් ලැබුණේ කොහෙන්ද කියලා කවුරුවත් දන්නේ නැහැ,” ඔහු පැවැසීය.

මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට පැමිණිලි කරන බව ද අමාත්‍ය වසන්ත සමරසිංහ පැවැසීය.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය නැවත වරක් මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතට ගැනීමට ද කටයුතු කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.