August 3, 2026

ජූලි 3 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී, කථානායක ජගත් වික්‍රමරත්න සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න ඇතුළු පිරිසක් මෙන්ම චීනයේ සංස්කෘතික හා චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ මධ්‍යම කාර්යාලයේ සහ චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ නියෝජිතයන් පිරිසක් හමුවේ අදහස් දැක්වූ චීන තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong), “සි ජින්පිං: චීනය පාලනය කිරීම (5 වන වෙළුම)” නම් පොත පැසසුමට ලක් කළේය. චීනය තේරුම් ගැනීමට මෙම පොත “බුද්ධිමය යතුරක්” සපයන බවත්, ශ්‍රී ලංකාවේ සංවර්ධනයට එය හොඳ මාර්ගෝපදේශයක් බවත් ඔහු පැවසීය. සැබවින්ම, එක්තරා පුවත්පතක සිරස්තලයක් වූයේ “ෂී ජිංපිංගේ පාලන තන්ත්‍රය පිළිබඳ පොත ශ්‍රී ලංකාවේ සංවර්ධනයට මාවත පෙන්වයි” යන්නයි. ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට, ජනජීවිතය නැංවීමට සහ ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට මෙම පොතේ මූලධර්ම ශ්‍රී ලංකාවට උපකාරී වන බව තානාපතිවරයා ප්‍රකාශ කර තිබිණි.

පිටු 700කින් සමන්විත, අන්තර්ජාලයෙන් පහසුවෙන් සොයාගත හැකි මෙම ග්‍රන්ථයේ සැබවින්ම ඇත්තේ කුමක්දැයි අධ්‍යයනය කිරීමට මෙම කතාව අපට ආරාධනා කරයි. සංසන්දනාත්මකව බැලූ විට, ‘මාඕ සේතුං සභාපතිවරයාගේ ප්‍රකාශ’ (Little Red Book) දෙවන මුද්‍රණයේ PDF පිටපත ඇත්තේ පිටු 143ක් පමණි.

පුදුමයකට මෙන්, ජනාධිපති සි ජින්පිංගේ මෙම පොත, තානාපතිවරයාගේ කතාවේ කියැවුණු දෙයට සපූර්ණයෙන්ම වෙනස් එකකි. 5 වන වෙළුම යනු 2022 මැයි සිට 2024 දෙසැම්බර් දක්වා කාලය තුළ ෂී ජිංපිං කළ කතා සහ රචනා 91ක එකතුවකි. බීජිං හි විදේශ භාෂා ප්‍රකාශන ආයතනය මගින් කොටස් 18ක් යටතේ මෙය ප්‍රකාශයට පත් කර ඇත. නමුත් හිස් තැනකවත් ‘ශ්‍රී ලංකාව’ යන නම මෙහි සඳහන් වන්නේ නැත. ‘එක් තීරයක් – එක් මාවතක්’ (BRI) පිළිබඳ පරිච්ඡේදවල, බලවත් රටවල රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ විග්‍රහයන්හි හෝ වරාය සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ සාකච්ඡාවල පවා ශ්‍රී ලංකාව ගැන එකදු වචනයක්වත් නැත. ශ්‍රී ලංකාවේ වරාය ආර්ථිකය, නූතන කෘෂිකර්මාන්තය, ඩිජිටල් ආර්ථිකය, නව බලශක්තිය සහ දිළිඳුකම පිටුදැකීම ගැන කතා කරන පොතක් ලෙස තානාපතිවරයා හඳුන්වා දුන්නේ සැබවින්ම චීනය පාලනය කරන ආකාරය සහ බීජිං පාලනයට නතු වන සේ ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කරන ආකාරය දක්වන අත්පොතකි. ඊට ශ්‍රී ලංකාවේ අභිලාෂයන් ඈඳා තැබීම තානාපතිවරයා විසින් සැලසුම්සහගතව කළ මුළා කිරීමකි.

“ජනතාවට මුල් තැන” දෙන පාලන දර්ශනයක් ගැන තානාපතිවරයා පැවසූ බැවින්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන මෙම පොතේ සඳහන් වන දේ සලකා බලමු. ජනාධිපති සි ජින්පිංගේ ස්ථාවරය තානාපතිවරයාට වඩා බොහෝ සෙයින් සෘජු ය.

“අප මානව සංහතියේ දේශපාලන ශිෂ්ටාචාරයේ ජයග්‍රහණ ලබා ගත යුතුයි, නමුත් බටහිර දේශපාලන ක්‍රමවේදයන් කිසි විටෙකත් අනුකරණය නොකළ යුතුයි” යනුවෙන් ෂී ජිංපිං ලියයි (පිටුව 302). එමෙන්ම අනෙකුත් පරිච්ඡේද මගින් පෙන්වා දෙන්නේ අධිකරණය, ස්වාධීන මාධ්‍ය, හමුදාව සහ ආර්ථිකය ඇතුළු සෑම දෙයකම පරම හා විවාදයකින් තොර බලධාරියා කොමියුනිස්ට් පක්ෂය විය යුතු බවයි. අඩුපාඩු තිබුණද ශ්‍රී ලංකාවේ පවතින්නේ තරගකාරී මැතිවරණ, විපක්ෂයක් සහ බලධාරීන් විවේචනය කරන මාධ්‍ය සංස්කෘතියක් සහිත බහුපක්ෂ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයකි. 2022 ‘අරගලය’ ගොඩනැගුණේද රට බංකොලොත් කළ (සහ චීනයට දැඩි ලෙස හිතවත් වූ) දේශපාලන බලධාරීන් ප්‍රතික්ෂේප කිරීම මත ය. අපගේ පාර්ලිමේන්තුවේ කථානායකවරයා හිල්ටන් හි ඉදිරිපෙළ අසුන්ගෙන සිටියේ තමන් මුලසුන දරන ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධති කිසිසේත් අනුකරණය නොකළ යුතු යැයි කියන පොතක් එළිදැක්වීමේ උත්සවයක ය. මෙය ෂී ජිංපිංගේ පොත කියවාම තේරුම් ගත යුතු අලුත් දෙයක් නොවන නමුත්, ආණ්ඩුවේ කිසිදු නියෝජිතයෙකුට එහි පැවැති හාස්‍යජනක හා අසංගත භාවය තේරී නොතිබීම කණගාටුදායකය.

තානාපතිවරයා දැඩි ලෙස අවධාරණය කළ ‘ඩිජිටල් ආර්ථිකය’ සම්බන්ධයෙන්, කතාවත් පොතේ සඳහන් කරුණුත් අතර ඇති පරතරය වඩාත් පැහැදිලි වේ. 5 වන වෙළුම තුළ ඩිජිටල් ක්ෂේත්‍රය හඳුන්වා දෙන්නේ වෙළඳාමට වඩා රාජ්‍ය ආරක්ෂාව සහ මතවාදී පාලනය සඳහා වන මෙවලමක් ලෙස ය. “ජාතික සයිබර් ආරක්ෂාව තහවුරු කිරීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා අප සයිබර් ආරක්ෂණ පද්ධතියක් ගොඩනැගිය යුතුයි” යනුවෙන් ෂී ජිංපිං උපදෙස් දෙයි (පිටුව 437). දත්ත, කෘතිම බුද්ධිය (AI) සහ අන්තර්ජාල ප්‍රකාශන අයිතිය රාජ්‍ය ආරක්ෂක රාමුවට යටත් කරයි. ශ්‍රී ලංකා පසෙහි සිට චීන ජාතිකයන් විසින් මෙහෙයවනු ලබන මූල්‍ය ජාවාරම් (scam operations) සහ විදර්ශනාත්මක පරීක්ෂණයකින් තොරව සිදුවන පිටුවහල් කිරීම් ගැන මා පසුගිය මාසයේ ලිවීය. මෙහිදී සිදුවූයේ චීනයේ මහජන සබඳතා ගැටලුවක් විසඳීම මිස, මෙරට ජාල මෙහෙයවන්නන් හෝ මූල්‍ය සම්පාදකයන්ට දඬුවම් කිරීම නොවේ. චීනයේදී ජනාධිපති ෂී ජිංපිං පූර්ණ ඩිජිටල් පාලනයක් ඉල්ලා සිටියි. නමුත් විදේශයන්හිදී චීනය ගොඩනගන තාක්ෂණික පද්ධති මගින් අදාළ රටවලට තමන්ගේම ඩිජිටල් ජාල පාලනය කිරීමට ඇති හැකියාව අඩාල කරයි. චීන අපරාධ කල්ලි විසින් ප්‍රයෝජනයට ගන්නේද, චීන රාජ්‍යය විසින් මතවාද පතුරුවාලීමට භාවිත කරන්නේද මෙම නීතිමය හා සංවිධානාත්මක හිඩැස් ය.

5 වන වෙළුමෙන් වැඩි කොටසක් බීජිං හි ණය බිය පිළිබඳව වෙන්කර තිබුණද, තානාපතිවරයාගේ කතාවේ ණය ගැන කිසිවක් සඳහන් වූයේ නැත. “පළාත් පාලන ආයතනවල ණය අවදානම් වළක්වා ගත යුතුයි” යනුවෙන් ෂී ජිංපිං සිය නිලධාරීන්ට අණ කරමින්, “නොමඟ යවන සුළු ක්‍රමවලින් ගන්නා ණය අතහැර අලුතින් ණය ගැනීම් සප්‍රමාදව පාලනය කරන ලෙස” ඉල්ලා සිටියි (පිටුව 206).

අපැහැදිලි චීන ණය සහ වාණිජමය වශයෙන් අසාර්ථක ව්‍යාපෘති හේතුවෙන් රට බංකොලොත් වී වසර හතරකට පසු කොළඹ සිට මෙම උපදෙස් කියවන විට ඇතිවන්නේ විමතියකි. බීජිං පාලනය විදේශයන්ට ණය දීමේදී අනුගමනය නොකළ මූල්‍ය විනය, දැන් තමන්ගේම නිලධාරීන්ට උපදෙස් ලෙස ලබා දෙයි. සඟවා ඇති ණයවල තත්වය ගැන අවධානය යොමු කරන මෙම පොත, ශ්‍රී ලංකාවේ ණය අර්බුදය ගැන ස්වයං-විවේචනයක් කිරීමට තානාපතිවරයාට මඟපෙන්වූයේ නැත.

මෙම අසම්මුතිය මුදල්වලට පමණක් සීමා නොවේ. ජනාධිපති ෂී ජිංපිං චීනය “ස්වාධීනත්වය සහ ස්වයං-පෝෂිතභාවය” කෙරෙහි කැපවෙන බවත්, “තමන්ගේම ශක්තියෙන් රට දියුණු කර සංවර්ධනයේ පාලනය තමන් සතුව තබා ගන්නා බවත්” පවසයි (පිටුව 114). එනම් චීනය අන් රටවල් මත යැපීම වළක්වා ගනී. නමුත් පොත ‘එක් තීරයක් – එක් මාවතක්’ (BRI) දෙසට හැරෙන විට වාසිය හිමිවන්නේ කාටද යන්න පැහැදිලිය: සිල්ක් රෝඩ් ඉලෙක්ට්‍රොනික් වාණිජ්‍යය, සිල්ක් රෝඩ් නාවික වේදිකා, කෘතිම බුද්ධි පාලනය සඳහා වන ගෝලීය සහ සහභාගී වන සමාගම් සඳහා වන “සදචාරාත්මක හා අනුකූලතා ඇගයීම් පද්ධතිය” – මේ සියලු නීති, ප්‍රමිතීන් සහ ඇගයීම් සකස් කරන්නේ බීජිං විසිනි. එහි ප්‍රතිලාභ ලබන්නේද චීනයයි. මීට අමතරව තානාපතිවරයා හෙළිනොකළ තවත් කරුණක් ඇත. එනම් “විදේශීය කටයුතු සම්බන්ධයෙන් නීතිය මත පදනම් වූ පාලනය” ශක්තිමත් කිරීමයි (පිටුව 333). එමගින් චීන සමාගම් හෝ මූල්‍ය ජාවාරම්කරුවන් අදාළ රටවල අධිකරණ හමුවට පැමිණවීම වැළැක්වෙන පරිදි සන්සන්දනාත්මක නීතිමය ආරක්ෂාවක් සපයා ගනී. නීතියේ ආධිපත්‍යය “හොඳම ව්‍යාපාරික පරිසරය නිර්මාණය කරන බව” කියමින් (පිටුව 334) බීජිං පාලනය ආයෝජකයන් සුරකින බව පැවසූවද, පක්ෂයේ ආධිපත්‍යය මුල් කරගත් නීති පද්ධතියක් තුළ විදේශිකයෙකුට ස්වාධීන අධිකරණයකින් යුක්තිය ඉටු වේ යැයි සිතිය නොහැක.

ජාත්‍යන්තර නීති සම්බන්ධයෙන්ද චීනයේ පවතින්නේ තමන්ට වාසිදායක ලෙස ඒවා භාවිත කිරීමේ ප්‍රතිපත්තියකි. 2016 දකුණු චීන මුහුද පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථ තීරණය කුණු කූඩයට දැමීම සහ ලෝක වෙළඳ සංවිධානයේ (WTO) නීති පටහැනිව ඕස්ට්‍රේලියාවට හා ලිතුවේනියාවට සම්බාධක පැනවීම ඊට උදාහරණ ය. සි ජින්පිංගේ පොතේ සඳහන් වන නීතිමය පාලනය යනු අන් අයට නීති පැනවීම සහ චීනයට රිසි සේ කටයුතු කිරීමට ඉඩ සැලසීමයි. මෙම පොතට අනුව, වරාය ආර්ථිකය යනු චීනයේ සැපයුම් ජාල ආරක්ෂාවට සහ උපායමාර්ගික ස්වාධීනත්වයට පමණක් සේවය කරන්නකි. ශ්‍රී ලංකාව යනු ඔවුන්ගේ ගමනාන්තයේ එක් භූගෝලීය ස්ථානයක් පමණි.

තානාපතිවරයාගේ කතාවේ සාමය, මිත්‍රත්වය සහ පොදු අනාගතයක් ගැන පැවසූවද, පොතේ සඳහන් වන්නේ “2027 වන විට මහජන විමුක්ති හමුදාවේ (PLA) සියවස සැමරීම සඳහා චීන හමුදාව ලෝක පූජිත මට්ටමට ගෙන ඒම” උපායමාර්ගික කාර්යයක් බවයි (පිටුව 59). ආර්ථික හා ආරක්ෂක අංශ දෙකම එකට ගමන් කරයි. ගෝලීය ආරක්ෂක සමුළුව (GSI) යටතේ අප්‍රිකාවට යුවාන් බිලියනයක හමුදා ආධාර සහ හමුදා හා පොලිස් නිලධාරීන් 7,000කට පුහුණුව ලබාදීමට සි ජින්පිං පොරොන්දු වෙයි (පිටුව 538). පෙනෙන පරිදි චීන තාක්ෂණය ශ්‍රී ලංකාවේ නිරීක්ෂණ පද්ධතිවලටද ඇතුළත් වී ඇත. චීන පර්යේෂණ සහ නාවික නෞකා මෙරටට පැමිණීම ගැන කලාපීය නොසන්සුන්තාවයක් පවතින මොහොතක, මෙම හමුදාමය සබඳතා කෙරෙහි මීට වඩා අවධානයක් යොමු විය යුතුය. චීනය සිය හමුදාව බලවත් කිරීමට බලාපොරොත්තු වන 2027 වසර යනු ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් පිරෙන වසරයි.

එබැවින් හිල්ටන් හෝටලයේදී තානාපති චී ෂෙන්හොං කළ කතාව, ෂී ජිංපිංගේ පොතේ නිවැරදි සාරාංශයක් නොවේ. එය උපායමාර්ගිකව කරුණු වෙනස් කර ඉදිරිපත් කිරීමකි. ඒකපක්ෂ ආධිපත්‍යය, සයිබර් පාලනය, පූර්ණ නිරීක්ෂණය, චීනයට පමණක් සීමා වූ ණය විනය සහ වේගවත් හමුදා ව්‍යාප්තිය වැනි අභියෝගාත්මක කරුණු වසා දමා, “නවීකරණය” සහ “ජයග්‍රාහී සහයෝගීතාවය” යන සුමුදු වචනවලින් එය අලංකාර කර තිබිණි.

චීනයේ තොරතුරු අනුකරණය සහ සමාජ මාධ්‍ය හරහා සිදුකරන බලපෑම්වල ස්වරූපය මෙයයි. හිල්ටන් හිදී අපගේ කථානායකවරයා සහ මන්ත්‍රීවරුන් හමුවේ සිදු වූයේද එයයි. මෙයින් අදහස් කරන්නේ ප්‍රධාන වෙළඳ සහකරුවෙකු වන චීනය සමඟ පවතින සබඳතා අතහැරිය යුතු බව නොවේ. නමුත්, විවේචනාත්මක අධ්‍යයනයකින් තොරව චාටු බස් විශ්වාස කිරීම සහ අන්ධ ලෙස අවනත වීම නතර කළ යුතුය.

කෙසේ වෙතත් චීන තානාපතිවරයා එක් කරුණක් ගැන නිවැරදිය. ෂී ජිංපිංගේ 5 වන වෙළුම සැබවින්ම “බුද්ධිමය යතුරකි”. ඒ බීජිං පාලනය බලය සහ ලෝක අනුපිළිවෙල දකින ආකාරය තේරුම් ගැනීමට ය. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්, නිලධාරීන් සහ මාධ්‍යවේදීන් තානාපතිවරයා කී දේ කළ යුතුය; එනම් මෙම පොත අධ්‍යයනය කිරීමයි. නමුත් තානාපතිවරයා බලාපොරොත්තු වූ අරමුණින් නෙවේ. චීනයට සැබවින්ම අවශ්‍ය කුමක්දැයි එහි සෘජුවම සඳහන් වේ.

එහෙත්, ශ්‍රී ලංකාවට අවශ්‍ය කුමක්දැයි එහි කිසි තැනක සඳහන් වන්නේ නැත.

(Ceylon Today පුවත්පතට Dr. Sanjana Hattotuwa විසින් සම්පාදනය කරන ලද Reading Xi in Colombo නම් ලිපියේ සිංහල පරිවර්තනයකි)