September 25, 2026

මේ දිනවල රට තුළ ඉන්ෆ්ලුවෙන්සා A (H1N1) ආසාදිතයන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජාතික ඉන්ෆ්ලුවෙන්සා මධ්‍යස්ථානයේ උපදේශක වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ජූඩ් ජයමහ පවසයි.

ජාතික ඉන්ෆ්ලුවෙන්සා මධ්‍යස්ථානය මගින් සිදුකළ රසායනාගාර නිරීක්ෂණවලදී පරීක්ෂා කරන ලද රසායනාගාර සාම්පල අතර ඉන්ෆ්ලුවෙන්සා A (H1N1) ආසාදිතයන් වැඩිවශයෙන් හඳුනාගෙන තිබේ.

උණ, ඇඟපත වේදනාව හෝ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සඳහා ඖෂධ ගැනීමට පෙර සුදුසුකම් ලත් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කරන ලෙස වෛද්‍ය ජයමහ ජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම දින දෙකකට වඩා පවතින උණ රෝගී තත්ත්වයන් සඳහා හිතුමතේ ඖෂධ ලබා නොගෙන වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවද ඔහු අවධාරණය කරයි.

උණ (influenza) රෝග ලක්ෂණවලින් පෙළෙන පුද්ගලයින් වේදනා නාශක සහ අනෙකුත් ඖෂධ වර්ග ලබා ගැනීමේදී ප්‍රවේශම් විය යුතු බවට ද ඔහු උපදෙස් දුන්නේය.

ගර්භණී මාතාවන්, වයස්ගත පුද්ගලයන් සහ වයස අවුරුදු දෙකට අඩු කුඩා දරුවන් වැනි මෙම අවදානම් කාණ්ඩවල පසුවන්නන්ට ඉන්ෆ්ලුවෙන්සා රෝගය නිසා සංකූලතා ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බැවින්, රෝග ලක්ෂණ මතු වූ වහාම ප්‍රමාද නොවී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය.

දැනට ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගයද ව්‍යාප්ත වෙමින් පවතින අතර, ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ද ඩෙංගු රෝග ලක්ෂණවලට සමාන වන බැවින් ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය.

තමාට ඇත්තේ කිනම් රෝගී තත්ත්වයක්දැයි තමා විසින්ම තීරණය කිරීම හෝ ඖෂධ ලබා ගැනීමෙන් වැළකී, කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ද වෛද්‍යවරුන් වැඩිදුරටත් උපදෙස් දෙයි.