October 7, 2026

යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර කාලයක් පුරා පැවැති ඓතිහාසික නිදහස් වෙළඳ ගිවිසුම සඳහා වූ සාකච්ඡා සාර්ථකව නිමා කළ බව 2026 ජනවාරි 27 වන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

නව දිල්ලියේ සංචාරයක නිරත වූ යුරෝපීය කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේයන් මෙම ගිවිසුම Mother of all deals ලෙස හඳුන්වමින්, දෙපාර්ශවයේ ද්විපාර්ශ්වික සබඳතාවලට මෙන්ම ජාත්‍යන්තර වෙළඳාමට මෙමඟින් ලැබෙන දේශපාලනික වැදගත්කම අවධාරණය කළාය.

ආර්ථිකමය වශයෙන් ගත් කල, යුරෝපා සංගමයේ සිට ඉන්දියාවට අපනයනය කරන භාණ්ඩවලින් 97%කට ආසන්න ප්‍රමාණයක තීරුබදු අඩු කිරීමට හෝ ඉවත් කිරීමට නියමිත බැවින් මෙම ගිවිසුම ඉතා විශාල අගයක් ගනී. ලොව විශාලතම ආර්ථික බලවතුන් දෙදෙනෙකු අතර ඇති වූ ප්‍රථම ප්‍රධාන ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම මෙය වන අතර, එමඟින් 2032 වන විට යුරෝපා සංගමයෙන් ඉන්දියාවට සිදුකරන අපනයන දෙගුණයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, මෙය පූර්ණ ‘නිදහස් වෙළඳ’ ගිවිසුමකට වඩා සීමිත ‘වෙළඳ’ ගිවිසුමක් ලෙස හැඳින්වීම වඩාත් සුදුසු වේ. මන්දයත්, කෘෂිකර්මාන්තය වැනි සංවේදී ක්ෂේත්‍රවල වෙළඳාම මෙමඟින් ලිහිල් කර ඇත්තේ අර්ධ වශයෙන් වන අතර, රාජ්‍ය මිලදී ගැනීම් මෙයින් ඉවත් කර තිබේ. එමෙන්ම බොහෝ තීරුබදු නොවන බාධක ද එලෙසම පවතී. මෝටර් රථ ක්ෂේත්‍රය වැනි ඇතැම් අංශවල තීරුබදු අඩු කිරීම් වසර දහයක කාලයක් පුරා අදියරෙන් අදියර සිදු කිරීමට නියමිත අතර, මෙමඟින් ගිවිසුමේ ආර්ථික ප්‍රතිලාභ කෙතරම් ඉක්මනින් ලැබෙනු ඇත්දැයි ප්‍රශ්න මතුවේ.

කෙසේවෙතත්, දේශපාලන අපේක්ෂාවන් සහ සැබෑ වෙළඳ ලිහිල් කිරීම් අතර පවතින මෙම වෙනස හුදෙක් ගිවිසුමේ අඩුපාඩුවක් ලෙස පමණක් දැකිය නොහැක. ඒ වෙනුවට, ගිවිසුමේ ස්වභාවය මඟින් පෙන්නුම් කරන්නේ යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර ගොඩනැගෙමින් පවතින සබඳතාවයේ ප්‍රධාන ලක්ෂණයයි.

යුරෝපයේ සාම්ප්‍රදායික පාර්ශ්වකරුවන් මෙන් නොව, ඉන්දියාව සමඟ යුරෝපා සංගමයේ ඇති කරගන්නා මෙම සබඳතාවය සමාන මතවාද, සමාන උපායමාර්ගික සංස්කෘතීන් හෝ දීර්ඝ කාලීන විශ්වාසය මත පදනම් වූවක් නොවේ. ඒ වෙනුවට, එය දෙපාර්ශ්වයම තම අනාගත අවශ්‍යතාවය උදෙසා ගොඩනගා ගන්නා උපායමාර්ගික සබඳතාවයකි. ප්‍රධාන ජාත්‍යන්තර අර්බුද හමුවේ යුරෝපයේ සහ ඉන්දියාවේ ආර්ථික ආකෘතීන් පීඩනයට ලක්ව ඇති මෙවන් මොහොතක, වෙළඳ සබඳතා විවිධාංගීකරණය කිරීම, භූ-ආර්ථික අවදානම් අවම කරගැනීම සහ නව පාර්ශ්වකරුවන් අලුතින් ගොඩනගා ගැනීමේ දැඩි අවශ්‍යතාවය පාර්ශ්වයන් දෙකම හඳුනාගෙන තිබේ.

මෑතක් වන තුරුම යුරෝපය සිය ආරක්ෂාව සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ වූ සබඳතාවය ද, වෙළඳපොළ සඳහා චීන අපනයන ක්ෂේත්‍රය ද, බලශක්තිය සඳහා රුසියාවෙන් අඩු පිරිවැයකින් ආනයනය කළ පොසිල ඉන්ධන ද මත යැපුණි. කෙසේ වෙතත්, වසර කිහිපයක් ඇතුළත මෙම ප්‍රධාන පදනම් තුනම යුරෝපයට දැඩි හිසරදයක් සහ අවදානමක් බවට පත් විය. යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර සබඳතා වර්ධනය වීමට මූලිකම හේතුව වූයේ චීනයෙන් එල්ල විය හැකි තර්ජනය පිළිබඳව ඇති වූ පූර්ව දැනුවත්භාවයයි.

2019 වසරේදී චීනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය මඟින් බීජිං පාලනය පාර්ශ්වකරුවෙකු, තරඟකරුවෙකු මෙන්ම ප්‍රධාන ප්‍රතිවාදියෙකු ලෙස ද නම් කරන ලදී. ඉන් අනතුරුව ඉදිරිපත් කළ ඉන්දු-පැසිෆික් උපායමාර්ගය මඟින් නව දිල්ලිය සමඟ පවතින සබඳතාවල වැදගත්කම විශේෂයෙන් අවධාරණය කෙරිණි.

දශක ගණනාවකට පසු චීනය සමඟ ඇති වූ මාරාන්තික දේශසීමා ගැටුම්වලින් අනතුරුව, යුරෝපය සමඟ පොදු අරමුණු සහ ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමේ වැදගත්කම ඉන්දියාවේ උපායමාර්ගික ප්‍රජාවට ද තදින්ම වැටහිණි. එපමණක් නොව, යුරෝපීය රටවල් සඳහා ‘චීනයට අමතර විකල්පයක්’ ලෙස තමන්ව ස්ථානගත කරගැනීම තුළ විශාල ආර්ථික අවස්ථාවක් පවතින බව ද ඉන්දියාව වටහා ගත්තේය.

අනෙක් අතට, රුසියානු-යුක්‍රේන යුද්ධයේ ආරම්භයත් සමඟ ඉන්දියාව සමඟ පවතින සබඳතාව තවදුරටත් තහවුරු කරගැනීමට යුරෝපා සංගමයට විශාල තල්ලුවක් ලැබිණි. යුක්‍රේන ආක්‍රමණය ආරම්භ වී මාස දෙකක් ඇතුළත, යුරෝපීය කොමිසමේ සභාපතිනී වොන් ඩර් ලේයන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි විසින් දෙපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කරන බව ප්‍රකාශ කිරීමෙන්ම, ඉන්දියාව සමඟ සබඳතා පැවැත්වීමට යුරෝපයට ඇති දැඩි දේශපාලන අවශ්‍යතාවය පැහැදිලි විය.