July 30, 2026

ලොව ප්‍රමුඛපෙළේ ක්ෂණික ආහාර ආපනශාලා ජාලයක් වන ‘වෙන්ඩීස්’ (Wendy’s) ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගම පියවර ගෙන තිබේ.

එමගින් එම සමාගම් සමූහය මෙරට ක්ෂණික ආහාර ආපනශාලා ක්ෂේත්‍රයට ප්‍රථම වරට පා තබයි.

ඊට අදාළ ෆ්‍රැන්චයිස් ගිවිසුම් සහ මූලික කටයුතු මේ වන විටත් අවසන් කර ඇති අතර, එහි පළමු ආපනශාලාව 2026 දෙසැම්බර් මාසය වන විට විවෘත කිරීමට අපේක්ෂා කෙරේ.

“අන්තර්ජාතිකව පිළිගත් Wendy’s සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම හරහා ජෝන් කීල්ස් සමාගම සිය පාරිභෝගික ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය, ක්ෂණික ආහාර ආපනශාලා අංශය වෙත ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා,” යනුවෙන් ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර නවතම ත්‍රෛමාසික වාර්තාව නිකුත් කරමින් සඳහන් කර ඇත.

කෙසේවෙතත්, ප්‍රථම ආපනශාලාව පිහිටුවන ස්ථානය, ආයෝජනය කෙරෙන මුදල හෝ ඉදිරියේදී විවෘත කිරීමට නියමිත ආපනශාලා සංඛ්‍යාව පිළිබඳ මෙතෙක් අනාවරණය කර නොමැත.

2026 ජූනි මසින් අවසන් වූ ත්‍රෛමාසිකය සඳහා ජෝන් කීල්ස් සමූහයේ පාරිභෝගික ආහාර අංශය රුපියල් බිලියන 1.52ක පොලී, බදු සහ ක්ෂයවීම්වලට පෙර උපයන ලාභයක් වාර්තා කර ඇති අතර, එය පෙර වසරේ සමාන කාලපරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් බිලියන 1.26ට සාපේක්ෂව සියයට 21ක වර්ධනයකි.

එම ත්‍රෛමාසිකය තුළ පානීය නිෂ්පාදන අලෙවි පරිමාව සියයට 27කින් සහ පැණිරස කෑම අලෙවි පරිමාව සියයට 13කින් ඉහළ යෑම මෙම මූල්‍ය වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.