December 20, 2023

ඉදිරි විදුලිබල සංශෝධනයේදී වැට් බද්දෙහි බලපෑමක් සිදු නොවන බවත්, විදුලි බිල සංශෝධනයෙන් ජනතාවට ජනවාරි මාසයේදී සහනයක් ලබාදෙන බවත් විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර ඊයේ (19) පැවැසීය.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති ජනමාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

හෙතෙම එහිදී මෙසේද පැවැසීය.

“නව පනත් කෙටුම්පත පිළිබඳ උනන්දුවක් දක්වන වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, මහජන නියෝජිතයන්, විදුලි පාරිභෝගිකයන් හෝ ඕනෑම පාර්ශවයකට අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකියි. එම යෝජනා හා අදහස් අද සිට ජනවාරි මස 03 වනදා දක්වා ලිඛිතව අප වෙත ඉදිරිපත් කළ හැකියි.

ඒ වගේම ජනවාරි මාසයේ විදුලි බිල සංශෝධනය කිරීමට බලාපොරොත්තු වනවා. දැනට උපරිම ධාරිතාවයෙන් ජල විදුලිය උත්පාදනය සිදු කෙරෙනවා. මින් පෙර ඔක්තෝබර් මාසයේදී විදුලි ගාස්තු වැඩි කිරීම සිදු කළේ ෆොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් විදුලිය නිෂ්පාදනයට වැය වන අධික පිරිවැය සැළකිල්ලට ගනිමිනුයි. කෙසේ වෙතත්, දැන් කාලගුණික තත්ත්වය වෙනස් වී තිබෙනවා. පසුගිය මාස දෙක තුළ වර්ෂාපතනය ලැබුණු බැවින් සහ වර්ෂාපතනය තවත් සති දෙකක කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින් විදුලි ගාස්තු සංශෝධනය කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) අප වෙත දන්වා තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් මාසයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ශේෂ පත්‍ර සළකා බලා ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන මීළඟ ගාස්තු සංශෝධනයේදී යම් සහනයක් ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.

එමෙන්ම ජනවාරියේ සිදුවන විදුලිබිල සංශෝධනයට එකතු කළ අගය මත බද්දෙහි (VAT) කිසිදු බලපෑමක් ඇති වන්නේ නැහැ. විදුලි ජනනය සඳහා භාවිත කෙරෙන නැප්තා සහ ගල්අඟුරු බද්දෙන් නිදහස් නිසා විදුලි බල ක්ෂේත්‍රයට වැට් බද්ද අදාළ නොවන බව පැවසිය යුතුයි.

නමුත් වැට් බද්ද ඉන්ධන සම්බන්ධයෙන් යම් බලපෑමක් ඇති කරනවා. නමුත් එම බලපෑම අවම කිරීම සඳහා ගත හැකි වෙනත් විකල්ප සම්බන්ධයෙන් අප මේ වන විට සකච්ඡා කරමින් සිටිනවා. එහි ප්‍රථිපලයත් සමඟින් ජනවාරි මාසයේ දී ඉන්ධන මිල සංශෝධනය කිරීමට ද නියමිතයි. එහිදී කිසිදු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩ දෙන්නේ නැහැ. මේ වන විටත් ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග අප සතුව පවතිනවා.

එමෙන්ම පසුගිය නොවැම්බර් මාසයේ සහ එළඹෙන ජනවාරි මාසයේදී විදුලි ජනනය සඳහා වැය වන දැවි තෙල් ප්‍රමාණය අඩුවීම නිසා දැවිතෙල් මෙන්ම නැප්තා යන ඉන්ධන වර්ග විශාල වශයෙන් ඉතිරි වී තිබෙනවා. පිරිපහදුවෙන් ලැබුණු නිෂ්පාදනවලින් ලංකා තොග ගබඩා පර්යන්තයේ ටැංකි පද්ධතිය උපරිම ධාරිතාවට පැමිණ තිබෙනවා.

ඒ අනුව මෙරට පවතින අතිරික්ත දැවිතෙල් සහ නැප්තා අපනයනය කිරීමට ඊයේ පැවැති කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී අනුමැතිය ලැබුණා.

ඒ වගේම ඇතැමුන් ඉන්දියානු සූර්ය බලාගාර හා මෙරට සූර්ය බලාගාර සංසන්දනය කරමින් විවිධ චෝදනා නඟනවා.

නමුත් ඉන්දියානු සූර්ය බලාගාර හා මෙරට සූර්ය බලාගාර සංසන්දනය කළ නොහැකියි. ඉන්දියාව ඔවුන්ගේම සුර්ය පැනල නිෂ්පාදනය කරන රටක්. අපේ රට සූර්ය පැනල නිෂ්පාදනය කරන්නේ නැහැ. අප සියලු දේ ආනයනය කළ යුතුයි. නිෂ්පාදන පිරිවැයේ දී අප රටවල් දෙක අතර විශාල පරතරයක් පවතිනවා. එමෙන්ම සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනයේදී ද සම්ප්‍රේෂණ රැහැන් පද්ධති සඳහා ද එම තත්ත්වය එකසේ බලපානවා”