May 27, 2026

බුදුදහම විකෘති කිරීම සෑම කෙනෙකුටම වේදනාවක් බවත් ශ්‍රී ලාංකික ජනතාව දහම සමග ගොඩ නැගුණු ජාතියක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (27) පස්වරුවේ තිහගොඩ, මිදෙල්ලවල පුරාණ රජමහා විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා;

“ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීමේ පදනම මිහිදු මහරහතන් වහන්සේගේ ආගමනය බව මා විශ්වාස කරනවා. මේ විශිෂ්ටතම දහම විකෘති කිරීම අපි සෑම කෙනාටම වේදනාවක්. මේ විකෘතිමය දහම තුළ විනයධර භික්ෂූන් වහන්සේගේ බිද වැටීම අපට වේදනාවක් ගෙන දෙන්නක්.

මත්කුඩු සම්බන්ධයෙන් අපේ හිමිවරුන් 21 නමක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මා ත්‍රෛනිකායික මහා නාහිමිපාණන් වහන්සේ සමඟ සාකච්ඡවක් පැවැත් වූවා. උන්වහන්සේ ඉදිරිපත් කළේ පුළුවන් නම් අධිකරණයට ගෙන යෑමට පෙර උපැවිදි කරන්න කියලයි. අපි කොහොමද හාමුදුරුවන් වහන්සේලා මාංචු සමඟ එකපෙළට අධිකරණයට ගෙන යන්නේ? ඇත්තටම ත්‍රෛනිකායේ නියෝජිත මහානාහිමිපාණන් වහන්සේලා එයට එකඟතාව පළ කළා. පසුව උන්වහන්සේලා නිදොස් වෙනවා නම් යළි පැවිදි වීමේ අධිෂ්ඨානයකට ආවා. එහෙත් නීති උපදෙස් තිබෙන්නේ දහම මත නෙමෙයි. ඒ නිසා ඒක සිදු වුණේ නැහැ.

මේ දහම මත පදනම් වන ඕනෑම නරක පන්නයේ සිදුවීමක් අපට වේදනාවක් ගෙන දෙනවා. අපි පන්සල සමඟ ගොඩනැගුණු ජාතියක්. අපේ ගමේ තිබූ ප්‍රධාන උත්සවය පොසොන් උත්සවයයි. අපට බෞද්ධාගම කියා දුන්නු හාමුදුරුවන් වහන්සේ අපේ ගමේ නායක හාමුදුරුවන්. උන්වහන්සේලා සවස ස්නානය කිරම සඳහා පාරදිගේ වැවට වඩින විට අපි බොරළු පාරේ දණ ගසා වැඳපු මිනිස්සු. අපි ඒ ආධ්‍යාත්මයත් සමග ගොඩනැගුණු මිනිස්සු. අපට දහම, හොද නරක, අනාගතය ගැන කියා දුන්නේ හාමුදුරුවන් වහන්සේ. අපේ ගමක ආරවුලක් විසඳන්න ආවේත් හාමුදුරුවන් වහන්සේ. ඒ ආශ්‍රිතව ආධ්‍යාත්මයක් සහිත අපිට මේ සිදුවීම්වලින් වේදනාවක් ගෙනැත් දෙනවා.

ඒ නිසා, ඔබ වහන්සේලාට, ඔබ වහන්සේලාගේ සංස්ථාවල විනය පවත්වා ගෙන යෑම සදහා අවශ්‍ය බලතල ලබා දිය යුතුයි. මා පමණක් නොව, මහානායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය මේ සම්බන්ධව සිත් තැවුළෙන් සිටින බව මා දන්නවා.”