September 23, 2026

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය රෝගියෙකුගේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රියාවලිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන ලද විමර්ශන වාර්තාවකින් බරපතල ගැටලු රැසක් මතුකර තිබේ.

රෝගියාට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය අනුගමනය කළ ක්‍රියාපටිපාටි පිළිබඳව මෙහිදී දැඩි ප්‍රශ්නාර්ථයක් මතුව ඇති බව වාර්තා වී ඇත.

වාර්තාවේ සඳහන් වන පරිදි, අම්පාර රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ලංකා ජයසිංහ 2020 ජූලි මාසයේදී ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලට ඇතුළත් කර ඇති අතර, හදිසි ප්‍රතිකාර ඒකකය, වාට්ටු සහ දැඩි සත්කාර ඒකකය ඇතුළු ඒකක කිහිපයකදීම ප්‍රතිකාර ලබාගෙන තිබේ.

මෙම කාලය තුළ රෝගියාට ලබාදුන් ප්‍රතිකාර, ඇති වූ සංකූලතා සහ කාර්ය මණ්ඩලය ගත් තීරණ පිළිබදව පරීක්ෂණයට ලක්කර ඇත.

විශේෂයෙන්ම PEG පෝෂණ ක්‍රියාපටිපාටිය (Percutaneous Endoscopic Gastrostomy feeding) ක්‍රියාත්මක කළ ආකාරය, ආහාර ලබාදුන් වේලාවන් සහ රෝගියාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ හෙදියන් ලබා දී ඇති ප්‍රකාශවල පරස්පරතා පවතින බව වාර්තාව විසින් පෙන්වා දී තිබේ.

තවද, රෝගියා දැඩි සත්කාර ඒකකයට මාරුකිරීමට පෙර රුධිර පීඩනයේ වෙනස්වීම්, පපුවේ වේදනාව, හෘද පරීක්ෂණ, ට්‍රොපොනින් පරීක්ෂණ සහ ඊසීජී පරීක්ෂණ සිදු කළ ආකාරය මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතා ඇති වූ පසු ලබාදුන් ප්‍රතිකාර පිළිබදව ද විමර්ශනයට ලක්කර තිබේ.

වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය අතර අන්තර් සම්බන්ධීකරණය, හදිසි අවස්ථා සඳහා ලබාදුන් ප්‍රතිචාර මෙන්ම රෝහල් පරිපාලන ක්‍රියාපටිපාටි ද මෙම පරීක්ෂණයට ඇතුළත් වී ඇති අතර හදිසි අවස්ථාවකදී රෝගියෙකුගේ ප්‍රාථමික වෛද්‍ය තත්ත්වය නිවැරදිව හඳුනාගැනීම සහ නිසි රෝගී යොමුකිරීමේ ක්‍රියාපටිපාටි අනුගමනය කිරීමේ වැදගත්කම වාර්තාව මඟින් අවධාරණය කර ඇත.

2023 ජූනි 21 වැනි දින විමර්ශන නිලධාරියා විසින් අත්සන් කර ඉදිරිපත් කරන ලද මෙම වාර්තාව, කිසිදු වෛද්‍යවරයකුට එරෙහි අපරාධමය හෝ වෘත්තීය වගකීමක් තීරණය කිරීමක් නොවන බවත්, සම්පූර්ණ සාක්ෂි සලකා බැලීමෙන් පසු අදාළ බලධාරීන් එය තීරණය කළ යුතු බවත් සඳහන් කර තිබේ.

කෙසේවෙතත්, මෙම වාර්තාවේ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු කරුණු රැසක් අඩංගු බැවින්, එහි ප්‍රතිඵල වහාම ප්‍රසිද්ධියට පත්කරන ලෙස වෛද්‍ය විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සෞඛ්‍ය ලේකම්වරයාගෙන් දැඩි ලෙස ඉල්ලීමක් සිදුකර ඇත.

මහජන සෞඛ්‍ය අංශයේ වගවීම සහ විනිවිදභාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් මේ හරහා යළිත් වරක් සමාජයේ දැඩි අවධානයක් යොමුවී තිබේ.

(උපුටාගැනීම – Daily Mirror / https://www.dailymirror.lk/breaking-news/Was-negligence-behind-former-Ampara-hospital-directors-death/108-350921)