May 26, 2026

සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයට අදාළ කරුණු සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍ය ජාලයන්හි සංසරණය වෙමින් පවතින ව්‍යාජ සහ නොමඟ යවන සුළු තොරතුරු පිළිබඳ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මහජනතාව වෙත විශේෂ අනතුරු ඇඟවීමක් කර තිබේ.

පොදු නිවේදනයක් නිකුත් කරමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටියේ, දැනට සමාජ මාධ්‍යවල හුවමාරු වන තොරතුරු ‘සම්පූර්ණයෙන්ම අසත්‍ය, නොමඟ යවන සුළු සහ අනවසර’ ඒවා බවයි.

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් කිසිදු මාධ්‍ය ආයතනයකට හෝ සමාජ මාධ්‍ය ජාලයකට එවැනි ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව ද එහි අවධාරණය කර ඇත.

මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ගොතන ලද සහ අසත්‍ය වාර්තා නිර්මාණය කරන, පළ කරන සහ ප්‍රචාරය කරන පුද්ගලයන්ට මෙන්ම පාර්ශවයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව ද එම අධිකාරිය සඳහන් කළේය.

සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයට අදාළ තොරතුරු බෙදා හැරීමේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත්, ඕනෑම තොරතුරක් නිල වශයෙන් නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශ සහ අධිකාරියේ නිල සන්නිවේදන නාලිකා හරහා තහවුරු කරගන්නා ලෙසත් සිවිල් ගුවන් සේවා අධිකාරිය මහජනතාවගෙන්, මාධ්‍ය ආයතනවලින් සහ සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටියි.

මහජන විශ්වාසය, ආයතනික අභිමානය සහ රාජ්‍ය ආයතනවල විශ්වසනීයත්වය ආරක්ෂා කිරීමට තමන් නිරන්තරයෙන් බැඳී සිටින බවත්, අසත්‍ය තොරතුරු සහ වැරදි තොරතුරු පතුරුවන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.