July 24, 2026

වයස අවුරුදු 16 ට අඩු පරිශීලකයන්ට සමාජ මාධ්‍ය ජාල තුළ අන්තර්ගතයන් (posts) පළකිරීම, කමෙන්ට් කිරීම හෝ ප්‍රතිචාර (reactions) දැක්වීම තහනම් කිරීමට වියට්නාමය සැලසුම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ළමුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමාකිරීම සඳහා ලොව පුරා මතුවෙමින් පවතින අන්තර්ජාතික ප්‍රවණතාවට එක්වෙමින් වියට්නාමය මෙම පියවර ගෙන ඇත.

යෝජිත නව රීතීන්ට අනුව, අවුරුදු 16ට අඩු ළමුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්, ඔවුන්ගේ දෙමාපියන්ගේ හෝ නීත්‍යානුකූල භාරකරුවන්ගේ තොරතුරු භාවිත කරමින් ලියාපදිංචි කළ යුතු අතර, එම වේදිකාවල නරඹන අන්තර්ගතයන් සහ ගත කරන කාලය අධීක්ෂණය කිරීමේ වගකීම එම දෙමාපියන්ට හෝ භාරකරුවන්ට හිමිවේ.

එසේම, කෙටුම්පත් නියෝගයට අනුව, ළමා පරිශීලකයන් හඳුනාගැනීමට සහ ඔවුන්ගේ වයසට ගැලපෙන අන්තර්ගතයන් පමණක් ප්‍රචාරය වන බව තහවුරු කිරීමට තාක්ෂණික පියවර ගැනීමට සමාජ මාධ්‍ය සමාගම්වලට සිදුවනු ඇත.

“මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ළමුන්ගේ සමාජ මාධ්‍ය ප්‍රවේශය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම හෝ අධික ලෙස සීමාකිරීම නොවේ. ඒ වෙනුවට ළමුන් සමාජ මාධ්‍ය භාවිතා කරන විට ඔවුන් වයසට ගැලපෙන පරිසරයක සිටින බවත්, නුසුදුසු අවදානම්වලින් ආරක්ෂා වී සිටින බවත් තහවුරු කිරීමයි” යැයි නව රීති පිළිබඳ පැවැති සාකච්ඡාවකදී නියෝජ්‍ය සංස්කෘතික අමාත්‍ය ඵාන් ටම් ප්‍රකාශ කර ඇත.

මෙම කෙටුම්පත් නියෝගය මගින් ළමා ගිණුම් සඳහා ඉහළම මට්ටමේ පෞද්ගලිකත්ව ආරක්ෂාවක් ලබාදීමට සමාජ මාධ්‍ය සමාගම්වලට බලකෙරෙන අතර, හිංසනය, අසභ්‍ය දර්ශන, සූදුව, මත්ද්‍රව්‍ය, සියදිවි නසාගැනීම් සහ වෙනත් හානිකර දේවලට අදාළ අන්තර්ගතයන් කල්තියා හඳුනාගෙන, අනතුරු අඟවා ඒවාට ඇති ප්‍රවේශය අහුරා දැමීමට (block) පියවර ගත යුතුය.