April 19, 2026

ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

උප ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා හෙට (20) දක්වා දිවයිනේ රැඳී සිටීමට නියමිතය.

තවත් 49 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමග අද පෙ.ව. 9.30ට පමණ ඉන්දීය උප ජනාධිපතිවරයා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණ තිබිණි.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ඇතුළු ශ්‍රී ලංකා අමාත්‍යවරුන් පිරිසක් දූත පිරිස පිළිගැනීම සඳහා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ ප්‍රභූ විවේකාගාරයට පැමිණ සිටියහ.

මෙම සංචාරය අතරතුර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල කොටසක් ලෙස, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, මෙම සංචාරයේ දී උප ජනාධිපතිවරයා නිල උත්සව කිහිපයකට සහභාගී වීමට නියමිත අතර දේශපාලන හා ප්‍රජා නායකයන් සමඟ රැස්වීම්වලට ද සහභාගී වේ.

දෙරට අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් අවබෝධතා ගිවිසුම් කිහිපයක් ද හුවමාරු කර ගැනීමට නියමිතය.

මේවා විශේෂයෙන් මෑත කාලීන දිට්වා සුළි කුණාටු තත්ත්වයට අදාළ සංවර්ධන හවුල්කාරිත්වයන් සහ පුනරුත්ථාපන ප්‍රයත්නයන් කෙරෙහි අවධානය යොමු කරනු ඇත.