June 25, 2026

වෙනිසියුලාව තුළ පිට පිටම සිදු වූ ප්‍රබල භූමිකම්පා මාලාවක් හේතුවෙන් පුද්ගලයන් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 700කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව එරට වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් නිල වශයෙන් පවසා තිබේ. .

කෙසේ වෙතත්, මෙම ස්වාභාවික ව්‍යසනයෙන් සිදුවිය හැකි සමස්ත මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවීමට සියයට 44ක සම්භාවිතාවක් පවතින බවත්, එය 100,000 ඉක්මවා යාමට සියයට 30ක ඉඩකඩක් පවතින බවත් ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) මීට පෙර ගණන් බලා තිබුණි.

මේ වන විට අගනුවර වන කරකාස් හි සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීම සඳහා සහන කණ්ඩායම් දැඩි වෙහෙසක් දරමින් සිටින අතර, සුන්බුන් අතරින් මිනිසුන් උදව් ඉල්ලා කෑගසන හඬ තවමත් ඇසෙන බව වාර්තා වේ.

කරකාස් නුවර රැඳී සිටින බීබීසී වාර්තාකරුවන් පවසන්නේ නගරයේ ගොඩනැගිලි රැසක විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර, මෙට්‍රෝ දුම්රිය පද්ධතිය ද මුළුමනින්ම වසා දමා ඇති බවයි.

වෙනිසියුලා අගනුවර වන කරකාස් නගරයට බටහිර දෙසින් බදාදා සිදු වූ ප්‍රබල භූමිකම්පා දෙකක් හේතුවෙන් ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර, විශාල පිරිසක් සුන්බුන් අතර සිරවී සිටිති.

ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS) අනුව පළමුව කරකාස් නුවරින් කිලෝමීටර් 160ක් බටහිරට වන්නට රික්ටර් මාපකයේ 7.2ක අගයක් ගත් භූමිකම්පාවක් හටගෙන ඇති අතර, ඉන් මිනිත්තුවකටත් අඩු කාලයකදී රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබලත්වයෙන් යුත් දෙවන භූ කම්පනය ද සිදුව තිබේ.

මෙය වෙනිසියුලාවට සියවසකට අධික කාලයකදී බලපෑ දරුණුතම භූමිකම්පා තත්ත්වය ලෙස සැලකේ. ප්‍රධාන භූ කම්පන ද්විත්වයෙන් පසුව පසුකම්පන 20කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව එරට වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් කියා සිටියාය.

මේ වන විට රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇති අතර, කඩාවැටුණු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සහ සහන සේවා සඳහා බහුපාර්ශ්වීය ජාත්‍යන්තර සංවිධානවලින් මූල්‍ය ආධාර ඉල්ලා සිටින බව ජනාධිපතිනිය පැවසුවාය.

භූමිකම්පාවෙන් සිදු වූ හානි හේතුවෙන් එරට ප්‍රධානතම ගුවන් තොටුපළක් වන Maiquetia ගුවන් තොටුපළ ද තාවකාලිකව වසා දමා ඇත.

ස්පාඤ්ඤයෙන් නිදහස ලැබීමට මඟ පෑදූ 1821 ඓතිහාසික මිලිටරි ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් ප්‍රකාශයට පත් කර තිබූ රජයේ නිවාඩු දිනයක මෙම භූමිකම්පාව සිදුවීම නිසා භූ කම්පනය සිදුවන අවස්ථාවේදී වෙනිසියුලානු වැසියන් බහුතරයක් තම නිවෙස් තුළම රැඳී සිට ඇත.

කැරිබියන් භූ තැටිය සහ දකුණු ඇමෙරිකානු භූ තැටිය එකිනෙක හමුවන භූ විද්‍යාත්මකව සක්‍රීය කලාපයක වෙනිසියුලාව පිහිටා තිබීම මෙවැනි දරුණු භූ කම්පනවලට හේතුවයි.

මේ අතර, ව්‍යසනයට පත් වෙනිසියුලාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මුදාගැනීමේ කණ්ඩායම්, වෛද්‍ය පහසුකම් සහ මානුෂීය ආධාර ලබා දීමට පියවර ගන්නා බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසයි.

තම ‘X’ (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, මෙම ඛේදවාචකයෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල් වෙනුවෙන් තමාගේ බලවත් කනගාටුව පළ කරන බවත්, සුන්බුන් අතර සිටින පිරිස් බේරාගැනීමට වෙහෙසෙන සහන සේවකයන්ගේ ධෛර්යය අගය කරන බවත්ය.

ඇමෙරිකාව දැනටමත් වෙනිසියුලානු බලධාරීන් සමඟ සම්බන්ධ වෙමින් ආධාර කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටින බව ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ක්‍රිස්ටෝපර් ලෑන්ඩෝ ද තහවුරු කළේය.