June 29, 2026

වෙනිසියුලාව කැළඹූ ප්‍රබල ද්විත්ව භූමිකම්පාවෙන් අතුරුදන්ව සිටි ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝගේ ආදරණීය බිරිඳ සහ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව අතිශය කනගාටුදායක පුවතක් ලෙස වාර්තා වෙනවා.

පසුගිය බදාදා වෙනිසියුලාව පුරා රික්ටර් පරිමාණ 7.2ක සහ 7.5ක ප්‍රබලත්වයෙන් යුත් මාරාන්තික භූමිකම්පා දෙකක් හටගත් අතර, මේ වනවිට පුද්ගලයන් 1,430කට අධික පිරිසක් මියගොස් තවත් 68,900කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ දරුණු ව්‍යසනයෙන් ලූකස්ගේ බිරිඳ වන යානිනා මරනෙල්ලා සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා වන ආරොන් සහ අයින්හෝවා සදහටම මෙලොව හැරගොස් තිබෙනවා. ඔවුන්ව සෙවීම සඳහා පැය 74ක් පුරා දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබූ අතර, අවසානයේදී ඔවුන්ගේ නිශ්චල දේහයන් සොයාගත් බව ලූකස්ගේ සමීපතම මිතුරෙකු මෙන්ම පාපන්දු ක්‍රීඩකයෙකු වන එඩ්සන් ටොර්ටොලෙරෝ ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබමින් සංවේදීව තහවුරු කර තිබුණා.

ලූකස්ගේ පියා සහ සහෝදරයා ද ආර්ජන්ටිනාවේ සිට වෙනිසියුලාව බලා පැමිණ තිබුණේ මේ වේදනාකාරී සෙවීම් කටයුතුවලට උදවු වීමටයි.

38 වැනි වියේ පසුවන ලූකස් ට්‍රෙජෝ ක්‍රීඩා කරන්නේ වෙනිසියුලාවේ ‘ක්ලබ් ස්පෝර්ට් මාරිටිමෝ ඩි ලා ගුවයිරා’ කණ්ඩායමටයි. ලූකස්ගේ පවුලේ අහිමි වීම ගැන එම ක්‍රීඩා සමාජය ද සිය බලවත් කනගාටුව පළකර තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේදී ද ලූකස් සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් “ඔයා ඉන්න නිසා අපේ පවුල ඉදිරියටම යනවා, ඔයත් එක්ක හැමදේම ලස්සනයි” යනුවෙන් ආදරණීය සටහනක් තබා තිබුණත්, මේ දරුණු ඉරණම ඔවුන්ව මෙලෙස වෙන්කරාවි කියා ඔහු කිසිවිටෙකත් නොසිතන්නට ඇති.

තත්ත්වය තවත් දරුණු කරමින්, ලූකස් ක්‍රීඩා කරන මාරිටිමෝ ක්‍රීඩා සමාජයේම 14 හැවිරිදි දක්ෂ යොවුන් ක්‍රීඩකයෙකු වන වික්ටර් පැලසියෝස් සහ එහි කාර්ය මණ්ඩල සාමාජිකාවක වන ඇඩ්‍රියානා අරංගුරන් ද මෙම භූමිකම්පාවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.