September 21, 2026

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2019 වසරේදී තමන් වෙත ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කිරීමෙන් දින කිහිපයකට පසු, බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් අලුතින් ජනාධිපති සමාව ඉල්ලා තිබේ.

ඉරිදා (20) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැති තමන්ගේ ‘නමයයි පහ විකෘත්‍රිය’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී අදහස් දක්වමින් ඥානසාර භික්ෂුව ජ්‍යෙෂ්ඨ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියේ තමන් වෙනුවෙන් ජනාධිපති සමාව ඉල්ලා සිටීමට මැදිහත් වන ලෙසයි.

එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ ඥානසාර භික්ෂුව කියාසිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු තමන්ගේ අනාගතය පිළිබඳව අවිනිශ්චිතතාවයක් පවතින නමුත් නීතියට ගරුකිරීමට තමන් සූදානම් බවයි.

“මගේ ලියවිල්ලඉරණම ලියවිලා තියෙන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. මෙය මම බිය වන වෙලාවක් නෙවෙයි. රටේ නීතියට ගරු කිරීමේ වගකීමක් හැමෝටම තියෙනවා. මම නීතියට හිස නමනවා. ඒ ගැන කිසිම තර්කයක් නැහැ” භික්ෂුව පැවැසීය.

පෙර පැවැති ජනාධිපති සමාව ලබාදීමට සම්බන්ධ වූ නිලධාරීන් අතින් සිදුවූ බව කියන පටිපාටිගත දෝෂයන් හි ඵලවිපාක තමන් විඳිය යුත්තේ මන්දැයි භික්ෂුව මෙහිදී ප්‍රශ්න කළේය.

“නිලධාරීන් ක්‍රියාපටිපාටියේ වැරැද්දක් කළා නම් මට දඬුවම් කරන්නේ ඇයි? හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනුගමනය කළ ක්‍රියාපටිපාටියේ සිදුවූ ඕනෑම වැරැද්දක් වත්මන් ජනාධිපතිවරයාට නිවැරදි කරන්න පුළුවන්” භික්ෂුව සඳහන් කළේය.

තමන්ට ආගමික කටයුතු කරගෙන යෑමට අවස්ථාවක් ලබා දිය යුතු බව පවසමින් ජනාධිපති අනුර දිසානායකගෙන් අලුතින් සමාව ඉල්ලා සිටින ලෙස ඥානසාර භික්ෂුව ජ්‍යෙෂ්ඨ මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කළේය.

තමන්ගේ 87 වියැති මෑණියන් ගැන ද හැඟීම්බරව අදහස් දැක්වූ භික්ෂුව, තමන් සිරගත වුවහොත් ඇයව දැකබලා ගැනීමට නැවත අවස්ථාවක් නොලැබෙනු ඇතැයි බියක් පවතින බව ප්‍රකාශ කළේය.

“සමහර විට අපි ආයෙත් හමුවෙයි, සමහර විට හමුවෙන්නේ නැති වෙයි. ඒ ගැන මට කිසිම කණගාටුවක් නැහැ” භික්ෂුව පැවැසීය.

තමන් කිසිදු දේශපාලනඥයෙකුගේ අනුගාමිකයෙකු නොවන බව පවසමින්, දේශපාලන චරිත වෙනුවෙන් ක්‍රියාකරන බවට එල්ල වන චෝදනා ද භික්ෂුව ප්‍රතික්ෂේප කළේය.

“අපි කාගෙවත් ගෝලයෝ නෙවෙයි. අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ,” උන්වහන්සේ පැවසූහ.

තමන්ට එරෙහි නෛතික ක්‍රියාමාර්ග ආරම්භ වූයේ වත්මන් ආණ්ඩුව යටතේ නොව හිටපු යහපාලන ආණ්ඩු සමයේ බවද භික්ෂුව අවධාරණය කළේය.

වසර ගණනාවක් පුරා තමන්ට සහාය දුන් සැමට ස්තූතිය පුද කළ ඥානසාර භික්ෂුව, තමන් අතින් යම් වරදක් සිදුවී ඇත්නම් ඒ වෙනුවෙන් සමාව ද ඉල්ලා සිටියේය.

2019 වසරේදී ඥානසාර භික්ෂුවට ලබාදුන් ජනාධිපති සමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය සැප්තැම්බර් 10 වැනිදා තීන්දු කළ අතර, උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් භික්ෂුවට හිමිව තිබූ ඉතිරි සිරදඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙයින් අවිනිශ්චිතතාවයක් මතුව තිබේ.

භික්ෂුවගේ මෙම නවතම ඉල්ලීම ඉදිරිපත්ව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ඉදිරි නීතිමය පියවරයන් පිළිබඳ අවිනිශ්චිතතාවයක් පවතින පසුබිමකය.