June 7, 2026

රජය විසින් පනවන ලද නව අධිභාරය හේතුවෙන් වාහන මිල සියයට 25කින් පමණ ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇති අතර, මේ හේතුවෙන් වාහන ආනයනය සඳහා ණයවර ලිපි (LC) විවෘත කිරීම ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බව වාහන ආනයනකරුවෝ පවසති.

‘ද සන්ඩේ මෝනිං බිස්නස්’ වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIASL) ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක අරෝෂ රොද්‍රිගෝ ප්‍රකාශ කර ඇත්තේ, රේගු ආනයන බද්ද මත පනවා ඇති 50%ක අධිභාරය ඇතුළු නව වෙළඳපොළ වර්ධනයන් හමුවේ වාහන මිල සාමාන්‍යයෙන් 25%ක ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි.

“විනිමය අනුපාතය හේතුවෙන් මිල 10%කින් පමණ වැඩිවෙනවා. අධිභාරය නිසා තවත් 15%ක වැඩිවීමක් සිදුවන අතර සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) හේතුවෙන් වාහනයක මිල රුපියල් 250,000කින් පමණ ඉහළ යනවා. ඒ අනුව සමස්තයක් ලෙස වාහනයක මිල සාමාන්‍යයෙන් 25%කින් පමණ ඉහළ යනු ඇති,” යැයි අරෝෂ රොද්‍රිගෝ පැහැදිලි කර ඇත.

පසුගිය මැයි 16 වැනිදා සිට මෙම 50%ක අධිභාරය ක්‍රියාත්මක වුවද, ඉන් අනතුරුව ගතවූ සති දෙකක කාලය තුළ ආනයනකරුවන් දිගින් දිගටම ණයවර ලිපි විවෘත කර තිබිණි.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වාදෙන්නේ, වාහන ආනයනය නැවත සම්පූර්ණයෙන්ම තහනම් කරනු ඇතැයි ආනයනකරුවන් තුළ පැවැති බියයි.

කෙසේවෙතත්, එම තැතිගැනීම දැන් පහව ගොස් ඇති අතර, ණයවර ලිපි විවෘත කිරීමේ කැපීපෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන බව ද ඔහු සඳහන් කරයි.

මෙම අධිභාරය පැනවීමෙන් පසු මිලදී ගත් වාහන ලබන මාසය වන විට දිවයිනට පැමිණෙනු ඇත.

එබැවින් ආනයන ධාරිතාව කෙරෙහි මෙම බදු ඉහළ නැංවීමේ සැබෑ බලපෑම ලබන මාසයෙන් පසු වඩාත් පැහැදිලි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව, පොදු ප්‍රවාහන සේවා සඳහා යොදාගන්නා මගී වාහන, මෝටර් රථ, ස්ටේෂන් වැගන්, රේසිං කාර්, ගිලන් රථ වැනි විශේෂිත වාහන සහ ගොල්ෆ් රථ ඇතුළු වාහන කාණ්ඩ කිහිපයක් සඳහා මෙම තාවකාලික 50%ක අධිභාරය පනවා තිබේ.

මෙය 2026 මැයි 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක කාලයක් සඳහා වලංගු වේ.