September 4, 2026

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව ඇතුළත් අලුත්ම ඩොලරයේ කාසියක් අමෙරිකානු Mint ආයතනය විසින් නිකුත් කර තිබේ.
සියවසකට ආසන්න කාලයකට පසු අමෙරිකානු මුදල් ඒකකයකට රුව ඇතුළත් වූ පළමු ජීවමාන අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසයට එක්වෙයි.

අමෙරිකා එක්සත් ජනපදයේ 250 වැනි සංවත්සර සැමරුම නිමිත්තෙන් ඊයේ (03) දින නිකුත් කරන ලද මෙම විශේෂ කාසියේ ජනාධිපතිවරයාගේ රුවට අමතරව ‘Liberty’ (නිදහස) සහ ‘In God We Trust’ යන තේමාවන් ද මුද්‍රණය කර ඇත.

කෙසේවෙතත්, මෙම කාසිය දෛනික මූල්‍ය ගනුදෙනු සඳහා වෙළෙඳපොළට නිකුත් නොකරන අතර, එය කාසි එකතු කරන්නන් සඳහා පමණක් සීමාකර ඇති බව අමෙරිකානු මින්ට් ආයතනය පෙන්වාදෙයි.

සාමාන්‍යයෙන් ජීවත්ව සිටින පුද්ගලයන්ගේ රුව අමෙරිකානු මුදල්වල මුද්‍රණය කිරීම නීතියෙන් දැඩි ලෙස සීමාකර තිබුණද, රටේ 250 වැනි සංවත්සරය වෙනුවෙන්ම විශේෂයෙන් සම්මත කරගත් නීතිමය ප්‍රතිපාදන මත මෙම කාසිය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

මෙම කාසි අලෙවිය ආරම්භ කළ අවස්ථාවේදී, කාසි 25ක ඇසුරුමක් ඩොලර් 61 කට සහ කාසි 100 ක ඇසුරුමක් ඩොලර් 154.50 ක මිලකට අලෙවි වූ අතර, නිකුත් කර පැය කිහිපයක් ඇතුළත ආයතනයේ නිල වෙබ් අඩවියේ එම තොග සියල්ල අලෙවි වී අවසන් වී ඇත. එහෙත්, මහජන ඉල්ලුම මත තවත් කාසි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතින බව එම ආයතනය වැඩිදුරටත් කියාසිටී.

මේ අතර, පසුගිය මැයි මාසයේදී අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කර තිබුණේ, ජනාධිපති ට්‍රම්ප්ගේ රුව සහිත නව ඩොලර් 250ක වටිනාකමකින් යුත් නෝට්ටුවක් ද නිකුත් කිරීමට නියමිත බවය.

මීට පෙර, 1926 වසරේදී අමෙරිකාවේ 150 වැනි සංවත්සරය සැමරීම සඳහා නිකුත් කරන ලද ශත 50 කාසියක එවකට ජනාධිපතිවරයාව සිටි කැල්වින් කූලිජ්ගේ රුව ඇතුළත් කර තිබූ අතර, 2020 වසරේදී සම්මත කරන ලද ‘Circulating Collectible Coin Redesign Act’ පනත යටතේ වර්තමාන ට්‍රම්ප් ඩොලර් 1 කාසියේ ඉදිරිපසට ජනාධිපතිවරයාගේ රුව ඇතුළත් කිරීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලව සිදුකර ඇත.