May 23, 2023

අධිකරණයෙන් තීන්දුවක් ලැබෙනතුරු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස ඇමැති මහින්ද අමරවීර හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පිළිනොගන්නා බව මැතිවරණ කොමිසම පවසයි.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කර ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති හා විමර්ශන) විසින් ඇමැති මහින්ද අමරවීර වෙත නිකුත් කළ ලිපියක අවධාරණය කර ඇත.

මෙම ගැටලුව දැනට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බැවින්, අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තුරු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස ඇමැති මහින්ද අමරවීර හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පිළිගැනීම කොමිසම විසින් අත්හිටුවන බවද එම ලිපියේ සඳහන් වේ.

වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධූර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂයේ සියලුම තනතුරුවලින් ඉවත් කිරීමට එම පක්ෂය පසුගිය වසරේ තීරණය කළේය.

ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක යන මහත්වරුන් පක්‍ෂයේ දැරූ සියලුම තනතුරුවලින් ඉවත් කළ අතර ඔවුන්ගේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා සාමාජිකත්වය ද ඉවත් කර ඇත.

මේ අතර, 2022 නොවැම්බර් 21 වන දින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කළේය.

කෙසේ වෙතත්, නව දේශපාලන සන්ධානයේ මහලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා පිළිනොගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ පහක් පසුදා ප්‍රකාශ කර තිබුණේ එම ධුරය දැරූ මහින්ද අමරවීර ඇමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන්ට දැනුම්දී නොමැති බව පෙන්වා දෙමිනි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ව්‍යවස්ථාවට අනුව සහ එහි පෙර ක්‍රියාකාරකම්වලට අනුව, මේ සම්බන්ධයෙන් විධායක සභාවට හෝ සන්ධානයේ හවුල්කාර පක්ෂවලට දැනුම් දිය යුතු බවද ඔවුහු පෙන්වා දුන්හ.

මේ අතර, ඊට අදාළව ඇමැති මහින්ද අමරවීර ගොනු කළ නඩුවක්ද කොළඹ දිසා අධිකරණයේ විභාග වෙමින් පවතී.