August 22, 2023

දැනට පවතින වියළි කාලගුණය ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ලෙස මේ වසරේ නොවැම්බර් මාසය වන විට වර්ෂාපතනයේ අසාමාන්‍ය වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එල් නිනෝ (EL Nino) සහ ඉන්දියන් ඕෂන් ඩයිපෝල් (Indian Ocean Dipole) යන කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මෙම වසරේ නොවැම්බර් මාසය වන විට වර්ෂාපතනය වෙනදාට වඩා වැඩි විය හැකි බවට අපේක්ෂා කරන බැවින් ශ්‍රී ලංකාව තුළ ගංවතුර අවදානමක් පවතින බව දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඉන්දියානු සාගරයේ ඩයිපෝල් (IOD) යනු පැසිෆික් සාගරයේ එල් නිනෝ උච්චාවචනයන්ට බෙහෙවින් සමාන සාගරයේ සිදුවන අන්තර්ක්‍රියාවකි. එය එල් නිනෝට වඩා බෙහෙවින් දුර්වල පද්ධතියක් වන අතර, එබැවින් සාපේක්ෂව සීමිත බලපෑම් ඇත.

මේ අතර වියළි කාලගුණයේ ප්‍රතිඵලයක් ලෙස මාතලේ, ගම්පහ, අම්පාර, මහනුවර, පුත්තලම, මන්නාරම, මඩකලපුව, වවුනියාව, යාපනය, හම්බන්තොට, මොණරාගල, බදුල්ල, මුලතිව්, කුරුණෑගල, ත්‍රිකුණාමලය, රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක 15ක පවුල් 60,996කට අයත් පුද්ගලයෝ 210,790ක් පමණ ජල හිඟයට මුහුණ පා සිටිති.