October 24, 2026

යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා සඳහා වන ජාතික ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ඇති අතර, අමාත්‍යාංශ ලේකම්වරයා නිත්‍යානුකූල බලධාරියා ලෙස පත්කර තිබේ.

සංශෝධනය කරන ලද 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති යටතේ, 2026 ඔක්තෝබර් 20 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම තීරණය ප්‍රකාශයට පත්කර තිබේ.

ගැසට් පත්‍රයට අනුව, මෙම අත්හිටුවීම සිදුකර ඇත්තේ, සංගමයේ නිසි පරිපාලනය තහවුරු කිරීමට සහ ක්‍රීඩා පනතට අනුකූලව එහි ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඇතුළු අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට පහසුකම් සැලසීමේ අරමුණිනි.

ඒ අනුව, 2026 ඔක්තෝබර් 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ ලේකම්වරයා නිත්‍යානුකූල බලධාරියා ලෙස පත්කර ඇත.

මෙම පත්කරන ලද බලධාරියා විසින් සංගමයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම, ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය අවසන් කිරීම සහ නව නිලධාරීන් පත්කිරීම සඳහා මැතිවරණ පැවැත්වීම සිදුකරනු ඇත.

සංශෝධිත ව්‍යවස්ථාවට අනුකූලව පවත්වනු ලබන වාර්ෂික මහා සභා රැස්වීමකදී නව නිලධාරීන් නිසි පරිදි තෝරා පත් කරගනු ලබන තෙක් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සංගමයේ කටයුතු අඛණ්ඩව කරගෙන යනු ඇති බව ගැසට් පත්‍රයේ වැඩිදුරටත් සඳහන් වේ.