October 24, 2026

පොළොන්නරුව, කළහගල ප්‍රදේශයේ නව ඇත්අතුරු සෙවනක් පිහිටුවීමට තීරණය කර ඇත.

මේ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හෙක්ටයාර 15 ක පමණ බිම් ප්‍රදේශයක් වෙන්කරනු ලබන බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක ප්‍රකාශ කර තිබේ.

අලි – මිනිස් ගැටුම්, ගංවතුර සහ දුම්රිය අනතුරු ඇතුළු විවිධ ව්‍යසනයන් නිසා මව්පියන්ගෙන් වෙන් වන හෝ තුවාල ලබන අලි පැටවුන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කර ඇත.

පශු වෛද්‍යවරුන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් අනතුරුව, මෙම ඇත්අතුරු සෙවන සඳහා කළහගල ප්‍රදේශය තෝරාගෙන තිබේ.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පිහිටා ඇති එකම ඇත්අතුරු සෙවන ඇත්තේ උඩවලව ප්‍රදේශයේය.

උතුර සහ උතුරු මැද පළාත්වල සිට වන අලි පැටවුන් උඩවලව වෙත රැගෙන යෑමට පැය 7ත් 9ත් අතර කාලයක් ගතවන බව සුජන්ත ඒකනායක පෙන්වා දී තිබේ.

මෙතරම් දිගු කාලයක් තිස්සේ තුවාල ලැබූ අලි පැටවුන් ප්‍රවාහනය කිරීම ඔවුන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් ගෙන දේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය නංවාලීමට සහ අලි පැටවුන්ට අවශ්‍ය ආහාර සැපයීම වැනි සේවා හරහා ප්‍රදේශවාසීන්ට රැකියා අවස්ථා නිර්මාණය කර ගැනීමට මෙම ඇත්අතුරු සෙවන පිහිටුවීම ඉවහල් වන බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.