July 28, 2026

ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ දර්ශකයක් වන ‘වෙබොමෙට්‍රික්ස්’ (Webometrics) නවතම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය ලෙස නැවත වරක් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සමත්ව තිබේ.

ලොව පුරා රටවල් 200කට අධික සංඛ්‍යාවක පිහිටි උසස් අධ්‍යාපන ආයතන 32,000කට වැඩි ප්‍රමාණයක් අතුරින් කොළඹ විශ්වවිද්‍යාලය මෙවර ගෝලීය වශයෙන් 1,745 වැනි ස්ථානය ලබාගෙන ඇත.

විශ්වවිද්‍යාලය සතු බාහිර සබැඳි ජාලකරණය මනින ප්‍රවේශශීලීබව (Visibility – 50%), 2021-2025 කාලසීමාව තුළ විෂය පථයන් 27ක් ඔස්සේ වැඩිම උපුටා දැක්වීම් සහිත පර්යේෂණ පත්‍රිකා පදනම් කරගත් විශිෂ්ටත්වය (Excellence – 40%) සහ ලියාපදිංචි පර්යේෂණ ආයතන හඳුනාගැනීමේ (ROR) දත්ත මත පදනම් වූ විවෘතභාවය (Openness – 10%) යන ප්‍රධාන මිනුම්දඬු තුන ඔස්සේ මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබයි.

තම අධ්‍යයන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සහ පර්යේෂණවල ගුණාත්මකභාවය තහවුරු කිරීම වෙනුවෙන් දක්වන නිරන්තර කැපවීම මෙම හිමිකර ගැනීමට හේතු වූ බව කොළඹ විශ්වවිද්‍යාලය සඳහන් කරයි.

2026 ජූලි වෙබොමෙට්‍රික්ස් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ හොඳම විශ්වවිද්‍යාල/උසස් අධ්‍යාපන ආයතන 10 සහ එම ආයතන ලෝක මට්ටමේ සිටින ස්ථාන මෙසේය.

 

1 1745 කොළඹ විශ්වවිද්‍යාලය
2 2125 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
3 2258 පේරාදෙණිය විශ්වවිද්‍යාලය
4 2504 රුහුණ විශ්වවිද්‍යාලය
5 3004 මොරටුව විශ්වවිද්‍යාලය
6 3104 කැලණිය විශ්වවිද්‍යාලය
7 3584 යාපනය විශ්වවිද්‍යාලය
8 4076 රජරට විශ්වවිද්‍යාලය
9 4178 ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT)
10 4254 සබරගමුව විශ්වවිද්‍යාලය