March 13, 2026

මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති ගැටුම්කාරී තත්ත්වයේ පළමු දින හය තුළ කලාපය පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත දරුවන් විනාශකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බව යුනිසෙෆ් (UNICEF) සංවිධානය පෙන්වාදී ඇත.

පෙබරවාරි 28 වැනිදා සිට මේ දක්වා දරුවන් 1,100 කට වැඩි පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බව වාර්තා වී ඇති අතර, ඒ අතර ඉරානයේ දරුවන් 200ක්, ලෙබනනයේ 91ක්, ඊශ්‍රායලයේ 4ක් සහ කුවේටයේ එක් දරුවෙකු ද සිටින බව වාර්තා වේ.

ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත වීමත් සමඟ මෙම සංඛ්‍යාලේඛන තවදුරටත් ඉහළ යා හැකි බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

මිලියන සංඛ්‍යාත දරුවන්ට පාසල් අධ්‍යාපනය අහිමි වී ඇති අතර, නොනවත්වා එල්ල වන බෝම්බ ප්‍රහාර හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වී සිටින බව එම නියෝජිතායතනය අවධාරණය කරයි.

රෝහල්, පාසල්, ජල සහ සනීපාරක්ෂක පද්ධති ඇතුළු සිවිල් යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල වී හෝ හානි වී ඇති අතර, එය දරුවන්ගේ පැවැත්මට සහ යහපැවැත්මට දැඩි ලෙස බලපා ඇත.

දරුවන් සහ අත්‍යවශ්‍ය සේවාවන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීමක් බව අවධාරණය කරණ යුනිසෙෆ් සංවිධානය, සටන් නතර කර රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විසඳුම් සොයන ලෙසත්, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසත් ගැටුමට සම්බන්ධ සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන්ම දරුවන්ට වැඩි වශයෙන් හානි පමුණුවන පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටින ලෙසද සංවිධානය ඉල්ලා සිටියි.

දරුවන් මරාදැමීම, ඔවුන් ආබාධිත කිරීම හෝ අත්‍යවශ්‍ය සේවාවන් විනාශ කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව පවසන යුනිසෙෆ් සංවිධානය, කලාපයේ වෙසෙන මිලියන 200ක් දරුවන් වෙනුවෙන් අන්තර්ජාතික ප්‍රජාවගේ කඩිනම් මැදිහත්වීම අපේක්ෂා කරන බවද සඳහන් කරයි.