September 8, 2026

ගාල්ල, උණවටුන රුමස්සල ප්‍රදේශයේ ප්‍රකට පාසලක විදුහල්පතිවරයකු ළමයින් දෙදෙනකු පාසලට ඇතුළත් කරගැනීම සඳහා රුපියල් 250,000ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇත.

එම දරුවන්ගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, ගාල්ල හබරාදූව ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙළඳසැලක් තුළදී සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු, 2026 වසරේදී අදාළ දරුවන් දෙදෙනා 1 වැනි ශ්‍රේණියට සහ 8 වැනි ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා මුලින් රුපියල් 600,000ක මුදලක් ඉල්ලා තිබූ බව අල්ලස් කොමිසම පවසයි.

පසුව එම මුදල රුපියල් 300,000 දක්වා අඩුකර ඇති අතර, එයින් රුපියල් 150,000ක මුදලක් මුලින් ලබාගෙන තිබේ.

එම මුදල ලබාගැනීමෙන් පසුවද සැකකරු තවදුරටත් අමතර මුදල් ඉල්ලා ඇති අතර, ඉතිරි මුදල් ලබානොදුනහොත් දරුවන් පාසලෙන් ඉවත්කරන බවට තර්ජනය කර ඇති බවද පැමිණිලිකාරිය වැඩිදුරටත් චෝදනා කර ඇත.

රුපියල් 250,000ක මුදලක් ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් සැකකාර විදුහල්පතිවරයා අද දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.