June 21, 2026

එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටු දූත පිරිස සිය නව දින ශ්‍රී ලංකා සංචාරයේ සොයාගැනීම් මත පදනම් වූ රහස්‍ය මූලික නිරීක්ෂණ රජය වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි. මෙම කණ්ඩායම ලබන බදාදා සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කිරීමට නියමිතය.

පසුගිය ජූනි 15 වැනිදා දිවයිනට පැමිණි මෙම සිව්පුද්ගල කණ්ඩායම, 2019 වසරේදී සිදුකළ අවසන් සංචාරයෙන් පසු ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ඇගයීම සඳහා පොලිස් ස්ථාන සහ බන්ධනාගාර වෙත යමින් නිරීක්ෂණවල නිරත වූ අතර රජයේ උසස් නිලධාරීන් ද හමුවිය.

මෙහිදී පැවැති ප්‍රධානතම සාකච්ඡාවක් මේ සතියේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් සහ අනෙකුත් පාර්ශවකරුවෝ සහභාගි වූහ.

මෙහිදී වධහිංසාවලට අදාළ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ කණ්ඩායම ප්‍රශ්න කළ අතර, 2024 අගභාගයේදී ජාතික ජන බලවේග රජය බලයට පත්වීමෙන් පසු රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍ය හේරත් දූත පිරිස දැනුවත් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ ප්‍රකාශයකට අනුව, වධහිංසාවලට සහ අනෙකුත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි හෝ දඬුවම්වලට එරෙහි සම්මුතියේ අත්‍යවශ්‍ය ප්‍රොටොකෝලයේ(OPCAT) 16 වැනි වගන්තියට අනුකූලව, මෙම අනුකමිටුව සිය රහස්‍ය මූලික නිරීක්ෂණ ශ්‍රී ලංකා රජයට සහ ජාතික වැළැක්වීමේ යාන්ත්‍රණයට ඉදිරිපත් කරනු ඇත.

අනතුරුව, දූත පිරිස විසින් සිය සොයාගැනීම් සහ නිර්දේශ ඇතුළත් රහස්‍ය වාර්තාවක් අදාළ රාජ්‍යය (ශ්‍රී ලංකාව) වෙනුවෙන් සකස් කරනු ඇත.

OPCAT රාමුවට අනුව, ශ්‍රී ලංකා බලධාරීන් එය ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා සිටින තුරු එම වාර්තාව රහස්‍ය ලේඛනයක් ලෙස පවතිනු ඇත. අනුකමිටුව විසින් 2019 වසරේ සිදුකළ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු නිකුත් කළ වාර්තාව ද මේ දක්වා ප්‍රසිද්ධ කර නොමැත.

ශ්‍රී ලංකාව 2017 වසරේදී OPCAT සම්මුතියට අනුකුල විය. එහි බලතල ප්‍රකාරව, වධහිංසා වැළැක්වීමේ අනුකමිටුවට ඕනෑම සාමාජික රටකට යා හැකි අතර, පුද්ගලයන්ගේ නිදහස අහිමි කර ඇති හෝ අහිමි කිරීමට ඉඩ ඇති ස්ථාන වෙත පූර්ව දැනුම්දීමකින් තොරව ගොස් පරීක්ෂණ පැවැත්විය හැකිය.

එක් එක් සංචාරයේදී, මෙම දූත පිරිස රජයේ නිලධාරීන්, ජාතික වැළැක්වීමේ යාන්ත්‍රණයේ සාමාජිකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ අනෙකුත් එක්සත් ජාතීන්ගේ ආයතන හමුවී සාකච්ඡා පවත්වති.

මෙවර පැමිණි වධහිංසා වැළැක්වීමේ අනුකමිටු දූත පිරිස, දූත පිරිස් ප්‍රධානී අයිෂා ෂුජූන් මුහම්මද් (මාලදිවයින), ජාකොබ් ජූලියන් සෙපෙක් (පෝලන්තය), නිකා ක්වාරත්ස්කෙලියා (ජෝර්ජියාව), අනීකා ටොම්සික් (ක්‍රොඒෂියාව) සහ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ මානව හිමිකම් නිලධාරීන් දෙදෙනකුගෙන් සමන්විත වේ.