June 12, 2026

පකිස්ථානය තුළ සමාජීය කොන්කිරීම් සහ වෙනස්කොට සැලකීම්වලට ලක්වන ‘ඇල්බිනිසම්’ (සුදු මැලිවීමේ ජානමය තත්ත්වය) සහිත පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වහා පියවර ගන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥවරියක් පකිස්ථාන රජයෙන් ඉල්ලා සිටියාය.

තද හිරු රශ්මියට නිරාවරණය වීම නිසා මෙම පිරිස දැඩි සෞඛ්‍ය අවදානමකට ලක්ව සිටින අතර, පවතින දේශගුණික විපර්යාස හමුවේ එම තත්ත්වය තවදුරටත් දරුණු වී ඇති බව ඇය පෙන්වා දෙයි.

මෙම ප්‍රජාව මුහුණ දෙන බරපතළ තත්ත්වය අවධාරණය කරමින්, ඇල්බිනිසම් සහිත පුද්ගලයන්ගේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ස්වාධීන විශේෂඥ මුලුකා-ඈන් මිටි-ඩ්‍රමන්ඩ් මෙලෙස ප්‍රකාශ කළාය.

“ඇල්බිනිසම් තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් සඳහා නොමිලේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා මෙන්ම සහනදායී ගුවන් සහ දුම්රිය ප්‍රවාහන පහසුකම් සැලසීමට පියවර ගෙන තිබුණද, ෆෙඩරල් (මධ්‍යම) රජයේ සහ ප්‍රාන්ත රජයන්හි සේවාවන් අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිකම හේතුවෙන් එම සහන අඛණ්ඩව සහ ක්‍රමවත්ව ඔවුන් වෙත ලැබෙන්නේ නැත. උපකාර අවශ්‍ය බොහෝ දෙනෙකුට පවතින රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව පැහැදිලි වැටහීමක් ද නොමැත.”

ඇල්බිනිසම් යනු ශරීරයේ සම, කෙස් සහ ඇස්වල වර්ණය තීරණය කරන ‘මෙලනින්’ වර්ණකය නිපදවීම සීමා කරන හෝ සම්පූර්ණයෙන්ම නවතාලන ජානමය තත්ත්වයකි. මේ හේතුවෙන් ඔවුන්ගේ සම අධික ලෙස සුදුමැලි වන අතර හිසකෙස් සුදු හෝ ලා රන්වන් පැහැයක් ගනී.

පකිස්ථාන සමාජය තුළ මෙම පුද්ගලයන් දෙස බලන ආකාරය ඉතා කණගාටුදායක වන අතර, ඔවුන් ‘ශාප ලත්’ හෝ ‘අභාග්‍යය’ රැගෙන එන පිරිසක් ලෙස සමාජය විසින් සලකනු ලබයි.

මෙලෙස දිගින් දිගටම සමාජයෙන් කොන්වීම නිසා ඔවුන් තුළ තමන් පිළිබඳවම සෘණාත්මක ආකල්ප, දැඩි මානසික ආතතිය සහ කාංසාව හටගෙන තිබේ. සීමිත රැකියා අවස්ථා සහ අධ්‍යාපනික බාධක හේතුවෙන් ඔවුන්ගේ මෙම අසීරු තත්ත්වය තවදුරටත් දරුණු වී ඇත.