July 15, 2023

කොවිඩ්-19 වසංගතය, උද්ධමනය සහ ණය ගැනීම් හේතුවෙන් මේ වන විට අලුතින් ලොව මිලියන 165 ක ජනතාවක් දරිද්‍රතාවට ගමන්කර ඇති බැවින්, දුප්පත් රටවලට වහාම ණය ආපසු ගෙවීමේ සහන ලබා දෙනලෙස එක්සත් ජාතීන් ලොව බලවත් රටවලින් ඉල්ලා ඇත.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන(UNDP) පෙන්වාදෙන්නේ, මේ වන විට ලෝක ජනගහණයෙන් සියයට 20 කට වඩා වැඩි ප්‍රමාණයක්, එනම් බිලියන 1.65 ක් පමණ ජනතාව දිනකට ඩොලර් 3.65 ට වඩා අඩුවෙන් ආදායමක් ලබන්නන්ගේ තත්වයට පත්ව ඇති බවයි.

ලබන සතියේ ඉන්දියාවේ රැස්වන මුදල් ඇමැතිවරුන් 20 දෙනෙකුගෙන් යුත් G20 කණ්ඩායම, ලෝකයේ ඉහළම බහුපාර්ශ්වික ආයතන සමඟ දරිද්‍රතාවය පාලනය කිරීම පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

මෙලෙස අලුතින් දරිද්‍රතාවයෙන් පෙළෙන අතිරේක මිලියන 165 ජනතාව අඩු හෝ පහළ මධ්‍යම ආදායම් ලබන රටවල සිටින බව UNDP පවසයි.

කොවිඩ් වසංගතය තෙක් ලොව දරිද්‍රතා මට්ටම් ක්‍රමයෙන් පහත වැටෙමින් තිබූ නමුත් එතැන් සිට එය ඉහළ ගොස් ඇති බවද UNDP පෙන්වාදෙයි.

UNDP ඇස්තමේන්තු කර ඇති ආකාරයට අඩු ආදායම්ලාභී රටවල් 25ක් පසුගිය වසරේ ඔවුන්ගේ ආදායමෙන් සියයට 20කට වඩා වැඩි මුදලක් ණය ගෙවීම් සඳහා වැය කර ඇත.

දරිද්‍රතාව තුරන් කිරීම යනු, 2030 වන විට මානව වර්ගයාගේ වඩාත්ම මුල් බැසගත් ගැටලුවලට විසඳුම් සෙවීම අරමුණු කරගත් එක්සත් ජාතීන්ගේ ඉලක්ක මාලාවකි.