June 23, 2026

දිවා කාලයේදී දේවාල සහ බස් නැවතුම්පොළවල් අසල ශාස්ත්‍ර කියමින්, රාත්‍රී කාලයේදී ‘වට්ස්ඇප්’ ඔස්සේ සංවිධානාත්මකව හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පුද්ගලයන් දෙදෙනෙකු හෙරොයින් මිලිග්‍රෑම් 7970ක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොළොන්නරුව පොලිසියේ දූෂණ විමර්ශන අංශය සමත්ව තිබේ.

පොලිසිය පවසන පරිදි මෙම අපූරු ජාවාරම සම්බන්ධයෙන් අනාවරණය වී ඇති තොරතුරු මෙසේය:

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා කුරුණෑගල, පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මොවුන් මීට පෙර ද හෙරොයින් අලෙවි කිරීමේ චෝදනා යටතේ අධිකරණයෙන් දඬුවම් ලැබූවන් බව හෙළි වී ඇත.

මොවුන් පොළොන්නරුව ගල්විහාරය ආසන්නයේ පිහිටි විහාරස්ථානයක නවාතැන් ගෙන සාමාන්‍ය පුද්ගලයන් සේ පෙනීසිටිමින් මෙම ජාවාරම රහසිගතව මෙහෙයවා තිබේ.

දහවල් කාලයේදී ගල්විහාරය අසල බස් නැවතුම්පොළට පැමිණෙන පුද්ගලයන්ට ශාස්ත්‍ර කියා මුදල් උපයාගන්නා මොවුන්, රාත්‍රී කාලයේදී ගැනුම්කරුවන් සම්බන්ධ කරගෙන ‘වට්ස්ඇප් ලොකේෂන්’ ක්‍රමයට විවිධ ස්ථානවල මත්ද්‍රව්‍ය පාර්සල් සඟවා තබා මෙම ජාවාරම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය පියවර සඳහා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.