April 7, 2026

2020 දී තූතුකුඩි දිස්ත්‍රික්කයේ සාතන්කුලම් හි වෙළෙන්දෙකු වන පී. ජයරාජ් සහ ඔහුගේ පුත් ජේ. බෙනික්ස් අත්අඩංගුවේ සිටියදී මිය යෑම සම්බන්ධයෙන් තමිල්නාඩු අධිකරණයක් පොලිස් නිලධාරීන් නව දෙනෙකුට මරණ දඬුවම නියමකර තිබේ.

අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සහ ම්ලේච්ඡ පහරදීම යන චෝදනා යටතේ පවරා තිබූ මෙම නඩුව ‘දුර්ලභම’ නඩුවක් ලෙස අධිකරණය හැඳින්වීය.

2020 ජුනි මාසයේදී වින්දිතයන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන්ගේ ජංගම දුරකථන සාප්පුව වසා දැමිය යුතු වේලාවෙන් ඔබ්බට විවෘතව තබා ගැනීමේ චෝදනාව මත ය.

එම චෝදනාව පසුව අසත්‍ය බව හෙළි විය.

අත්අඩංගුවට ගත් පියාට සහ පුතාට පොලිස් ස්ථානයේදී එක රැයකින් නිරුවත් කර දරුණු ලෙස පහර දී ඇති බවට විමර්ශනවලින් හෙළි විය.

අධිකරණ භාරයට පත් කිරීමෙන් දින කිහිපයකට පසු දෙදෙනාම මිය ගිය අතර එය රට පුරා කෝපයක් ඇති කළේය.

විමර්ශනය භාරගත් මධ්‍යම විමර්ශන කාර්යාංශය, චූදිත නිලධාරීන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කළේය.

වසර පහකට වැඩි කාලයක් පැවති නඩු විභාගයේදී සාක්ෂිකරුවන් 100කට වැඩි පිරිසක් සාක්ෂි දුන්හ.